ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ඉහළ පොලියට ණය ලබාගෙන අධික ණය බරට ලක් වූ ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයකට අධික පිරිසකට වාර්ෂිකව සියයට 6ක පොලියට රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබන පෙබරවාරි මස සිට ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.
මේ පිළිබඳ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මුදල් ඇමතිවරයා විසින් ලබන සතියේ ඉදිරිපත් කරන බව සමෘද්ධි, ක්ෂුද්රමූල්ය, ව්‍යවසාය සංවර්ධන හා ඌන උපයෝජන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහමහතා පවසයි.
මෙම ණය මුදල් සඳහා භාණ්ඩාගාරය මඟින් රුපියල් කෝටි 25ක් දිස්ත්‍රික් 10ක ලේකම්වරුන් වෙත ලබා දෙන අතර ඔවුන් විසින් සමුපකාර බැංකු හරහා අදාළ ණය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට පියවර ගනු ඇත.
දැනට රටපුරා අවිධිමත් ආකාරයෙන් වාර්ෂිකව සියයට 40 සිට සියයට 200 දක්වා අධික පොලියක් ලබා ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු කරන ආයතන 3,000ක් පමණ ඇති බව වාර්තා වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 4ක් පමණි.
ක්ෂුද්‍ර මූල්‍ය පනත බල ගන්වා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධිකාරියක් පිහිටුවීමටද රජය මේ වන විට කටයුතු කරමින් සිටී.






