සංචාරකයන් ගෙන්වීමේදී ඒ සදහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් කඩ වුණා දැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සොයා බැලිය යුතු බවත් වසංගත රෝග අංශය මේ සම්බන්ධයෙන් නැවත පසු විමර්ශනයක් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.
වෛද්‍යවරයා මෙසේ පැවැසුවේ, අද (4) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි.
වැඩිදුරටත් අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා,
“සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව වසංගත රෝග අංශයක් තිබෙනවා වගේ ම අවශ්‍ය වන්නා වූ නිල විධාන ලබා දීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සතු වගකීමක්. කුමන සංචාරකයන් ගෙන ආවත් ඒ විධාන සහ උපදෙස් පිළිපැදීම සිදු කළ යුතුයි. වගකීමකින් ඒ කටයුතු සිදු කිරීම ඒ දේවල් කරන අයගේ වගකීමක්. ඒ වගේ ම, ඒ දේවල් අධීක්ෂණය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක්. මේ කාරණා සිදු නොවුණහොත් මේ කොරෝනා රෝගය තවත් පැතිරී යා හැකියි.
කුමන රටකින් සංචාරකයන් ගෙන්වූවත් මේ රටේ පවතින්නා වූ සෞඛ්‍ය උපදෙස් හා රෙගුලාසි අනුව කටයුතු කළ යුතුයි. වෙනත් රටකින් පැමිණියා යැයි කියා ලිහිල්භාවයක් අනුගමනය කිරීමට බලයක් ලබා දී නැහැ.
මේ රටේ නීති දෙක තුනක් තිබෙන්නට බැහැ. ඒක සාමාන්‍ය ජනතාවට වගේ ම සංචාරකයන්ටත් අදාළ වෙනවා. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සංචාරකයන්ට සුවිශේෂී වූ සැලකිල්ලක් දැක්විය නොහැකියි.
උදයංග වීරතුංග මහතා වුණත්, වෙනත් අයෙක් වුණත් රටේ තිබෙන නිරෝධායන ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි.”






