
ටාෂි කාලිදාස රංගනයට එක් වූ නවක ශිල්පිනියක්. අහම්බෙන් රංගනයට පිවිස සිය කුලුඳුල් ටෙලි නිර්මාණයෙන්ම බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් ඇය දැන් රංගනයේ දිගු ගමනක් යන්නට සිහින දකින්නියක්.
ටාෂි මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා?
‘ඉන්ටර්නැසනල්‘ටෙලි නාට්‍යයේ මීනු සහ දාම් ටෙලි නාට්‍යයේ ෂෙනායා විදිහටයි මම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. මීනු කියන්නේ ගැමි විදිහට ඉන්න චරිතයක්. ෂෙනායා කියන්නෙ බටහිර පන්නයට නැඹුරු දඟකාර චරිතයක්. එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඉතිං හරිම සතුටින් ඒ නිර්මාණවල වැඩ කරනවා.
ටාෂි රංගනයට පිවිසීමේ අහම්බය සිදු වුණේ කොහොමද?
ඇත්තටම මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. ඒ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ මගේ ජායාරූප දැකලා. ඔය අතරේ ටෙලි නාට්‍යයකට රංගන ශිල්පිනියන් තෝරනවා කියලා දැනගෙන අම්මිගෙ යාළුවෙක් මගේ ෆොටෝ යවලා තිබුණා. ඊට පස්සේ මාව ඒ නාට්‍යයට තෝරගත්තා. ඒ තමයි මගේ කුලුඳුල් ටෙලි නාට්‍ය රංගන වරම ලැබුණු ‘ඉන්ටර්නැසනල්‘ ටෙලි නාට්‍ය. ඒ පිටපත කියවද්දිම ඒ චරිතය ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඊට පස්සෙ තමයි ධනුෂ්ක රත්නායක අයියගේ ‘දාම්‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
පවුලේ අයගෙන් ටාෂිට උපරිම සහයෝගය ලැබුණද ?
මම රංගනයට සම්බන්ධ වෙනවට අම්ම, තාත්ත, අක්ක ගොඩක් කැමැති වුණා. ‘ඉන්ටර්නැසනල්‘ නාට්‍ය සම්බන්ධ වෙන්න කිව්වෙත් අම්මා. දුලිකා අක්කා වගේ ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම හොඳ අවස්ථාවක් කියලයි අම්මා කිවුවේ.
ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුද ?
ඔව්. මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවල මාව දකින විදිහයි නිර්මාණවල මාව දකින විදිහයි වෙනස් බව සමහරු කියනවා. ඒ මම අඳින පලඳින විදිහ වෙනස් නිසා වෙන්න ඇති. මගේ රංගනයේ ආධුනික කමක් දැක්කේ නෑ කියලයි ගොඩක් අය කිවුවේ. කවුරු හරි මගේ රංගනයේ අඩුපාඩුවක් පෙන්නලා දුන්නත් මම නිහතමානිව පිළිගෙන මගේ අඩුපාඩු හදා ගන්නවා. හැබැයි දැනට කවුරුවත් මට දොසක් කියලා නම් නැහැ.
විවිධ චරිත නිරූපනය කරන ටාෂිගේ සැබෑ ජීවිතේ කොහොම කෙනෙක්ද?
මම පවුලේ අය එක්ක හරිම විනෝදෙන් ඉන්න කෙනෙක්. රූගත කිරීම්වලට ගියාම වැඩිය කතා නොකරන නිසා මගේ ලොකුකම කියලත් කට්ටිය කියනවා. ගෙදරින් එළියට ගියහම වැඩිය කතා නොකරන එක මගේ විදිහ මිසක් ඒ මගේ ලොකුකම නම් නෙවෙයි. හැබැයි ගෙදරදි එළියේ දකිනවට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.
මේ ක්ෂේත්රයට එන අලුත් අයට කැපිලි එනවා කියන්නේ ඇත්තද?
මම වැඩ කරපු සෑම ප්‍රවීණ ශිල්පියෙක්ම ශිල්පිනියක්ම හරිම හොඳයි. ඔවුන් අපිට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ‘ඉන්ටර්නැසනල්‘ රූ ගත කිරීම්වලදී දුලිකා අක්කා කිසිම බේදයක් නැතිව අපි හැමෝම එක්ක හැම වෙලාවෙම විනෝදෙන් හිනා වෙලා ඉන්නේ. මට නම් කාගෙන්වත් කැපිලි ඇවිත් නැහැ.

ටාෂි තවම ඉගෙන ගන්න නිසා රංගනයේ වාරණ තියෙනවද?
මට තවම අවුරුදු දහහතයි. මම උසස් පෙළ කරන්නෙ 2022දි. ඒ නිසා මට කරන්න පුළුවන් ගැළපෙන චරිත තෝරාගන්න මම විමසිලිමත් වෙනවා. මගේ කැරැලි කොණ්ඩේ නිසයි මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ. මමත් ඉතින් මගේ කොණ්ඩෙට ආදරෙයි. ඒ නිසා චරිතයක් වෙනුවෙන් කොණ්ඩේ කපන්න වුණොත් ඒක නම් කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කොටට ඇන්දට ඇඟ ගොඩක් නිරාවරණය වෙන ඇඳුම් මම අඳින්නෙත් නැහැ. මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා මට ගැළපෙන නිර්මාණ තෝරාගෙන රංගනයට සම්බන්ධ වෙනවා.
ටාෂි දැන් සිනමාවටත් එකතු වුණා කියලා ආරංචියි ?
අරුණ ජයවර්ධන මහත්මයාගේ ‘හැපි බර්ත් ඩේ‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. එය ඉදිරියෙදි තිරගත වෙන්න නියමිතයි.
ටාෂි වඩාත් කැමැති පුංචි තිරයටද සිනමාවටද ?
මම සිනමාවට ගොඩක් කැමැතියි. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එය තවම සාකච්ජා මට්ටමේ තියෙන්නෙ. ඒ අතරේ හොඳ ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා.
අහම්බෙන් ආවාට ඉදිරියේදී ටාෂි රංගනය වෘත්තීය කර ගනීවිද ?
පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි දැන් නම් ඉතින් රංගනයත් අතහරින එකක් නැහැ. ගුවන් සේවිකාවක් වෙන හීනේ හැබෑ වුණොත් ඒ අතරේ රංගන කටයුතුවලටත් පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා.
මොනවද ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?
මගේ හැකියාව තව තවත් දියුණු කර ගනිමින් රංගන ශිල්පිනියක් විදිහට ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. මම නුවර නිසා රූගත කිරීම් තියෙද්දි නුවර ඉඳන් කොළඹ එන්න වෙනවා. කොළඹින් ගෙයක් ගන්නත් මම හීන දකිමින් ඉන්නේ.






