
මුහුද ගොඩගැලීමක් නිසා ඊයේ අලුයම මුතුපන්තිය දූපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චඳ්රසිරි බණ්ඩාර මහතා සදහන් කරයි.
ඊයේ 31 වැනිදා අලුයම එකවර මුහුදු රළ මුතුපන්තියේ කඩා වැදී ඇති බව ධීවර ජනතාව පවසයි. මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතූවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පූර්ණයෙන් යටවී තිබූ බවත් ඒ සමගම මුතූපත්තිය දූපත ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි ද මුහුදට ගසාගෙන ගොස් ඇතැයි ධීවරයෝ පවසයි.
මුහුදු රළ සමග ගසා ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී තිබු බව ධීවරයෝ පවසයි.
ධීවරයන් පවසා ඇත්තෙ සුනාමිය පැවති අවස්ථාවේ දී පවා මෙවැනි මුහුදු රළක් තම දූපතට ගලා නොපැමිණි බවයි. මුතුපන්තිය ග්‍රාමීය සංවිධානයේ සභාපති රෝෂාන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව පවසා ඇත.
“මේ තත්වය කිසිම දවසකවත් අපේ දූපතට බලපා තිබුණේ නැහැ. ඇත්තටම මේක හිතා ගන්න බැරි තරමට මුහුදු රළ ඉහළ යාමෙන් ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටිවලටත් ඉහළින් මුහුදු රළ දූපතට ගලා ඇවිත් තිබුණා. මෙය හිතා ගන්න බැරි දෙයක්. කාලගුණ අංශවලින්වත් මෙහෙම මුහුද සැර වෙනවා කියලා දැනුවත් කර තිබුණේ නැහැ” යැයි ඔහු වැඩි දුරටත් පවසයි.
සිද්ධිය වාර්තාවීම සමග පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එම ස්ථානයට පැමිණ ඇත.





