අවසන් වරට (2019 වසරේ) දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය ජයගෙන තිබියදීත්, මෙවර සංචාරයේ පළමු තරගයම ඉනිමකින් පරාජය වීම විශාල බලාපොරොත්තු සුන්වීමක් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 45කින් පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනෙක් ක්‍රීඩා කළ නොහැකි ආකාරයට ආබාධ වලට ලක්වීම වැනි තත්ත්වයකට තමන් මීට පෙර මුහුණ දී නැති බව පවසන දිමුත්, එකවර පන්දු යවන්නන් තුන් දෙනෙක් අහිමිවීමේ තත්ත්වයකට කිසිදු ක්‍රිකට් නායකයෙකු මුහුණ දී නැති බවද කියා සිටී. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් රැස්කර ගත්තේය. එය සටහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ‘අපි හොඳින් පන්දුවට පහර දුන්නා. මීළග තරගයට යන විට අපි ධනාත්මක මානසිකත්වයක් ඇතිව යා යුතුයි. සංචිතයේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම ආබාධ නිසා අපිට අහිමි වුණා. නමුත් අපිට ක්‍රීඩකයින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා. ඒ නිසා ඔවුන් සමග ඉදිරියට යන්න අපිට පුුළුවන්’ යනුවෙන් කියා සිටියේය.
ආබාධයට ලක් වූ ළහිරු කුමාර සහ කසුන් රාජිත වෙනුවට දුෂ්මන්ත චමීරට සහ මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති අසිත ප්‍රනාන්දුට දෙවැනි තරගයේදී අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් වේ. මේ අතර තරගාවලිය හා එක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත බව වැඩිදුරටත් වාර්තා වේ. පළමු තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් සහ වනිදු හසරංග යම් ආබාධයකින් පෙළෙන බව පෙනෙන්නට තිබුණත්, වලලුකර ආබාධයකට ලක්ව ඇති ඕෂධ ප්‍රනාන්දු දෙවැනි තරගයට සහභාගි වනු ඇති බව දිමුත්ගේ විශ්වාසයයි. ‘සුරංගගේ යෝග්‍යතාවය ගැන අපිට සහතිකයක් නැහැ. නමුත් ඔහු හොඳවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහුගේ තත්ත්වය පිළිබඳව තවත් දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත. එමෙන්ම චන්දිමාල්ගේ ආබාධයත් නිරීක්ෂණය කළ යුතුයි. ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි අපි තවම දන්නේ නැහැ.’යි යනුවෙන් දිමුත් කියයි.
ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් ‘පළමු දිනයේදී අපේ පන්දු යැවීම ගැන අපි සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවට පළමු ඉනිමේදී හොඳින් ලකුණු රැස් කිරීමේ අවස්ථාව ලැබුණා. නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී අපේ පන්දු යැවීමේ ඉතා ඉහළ මට්ටමින් පැවතුණා’ යනුවෙන් කියා ඇත.