සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ වෙබ් අඩවිය අනුව මාර්තු 11 වැනිදා පළමු කොවිඩ් රෝගියා ලංකාවෙන් සොයා ගැනීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා දක්වා හඳුනා ගනු ලැබූ ආසාදිතයන් ගණන 25,410ක්. ඒත් කොළඹ නගරයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ අනුව පේන්නේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. කොළඹ ජනගහණය ලක්ෂ හයකටත් වැඩියි. වත්මන් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි කියන්නේ කොළඹ නගරයේ පමණක් කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ සිටිය හැකි බවයි.
මම එය පිළිගන්නේ නෑ. මේවා නිසි ලෙස විදිමත්ව කරන ලද පරීක්ෂණ වලින් තොරව අහඹු ලෙස කරන ලද පරීක්ෂණ මගින් තහවුරු කරගත් දත්තයන් මත පදනම් වී කරන ලද ප්‍රකාශ. වසංගත රෝග ගැන මට ඇති දීර්ඝ කාලීන අත්දැකීම් මත මට පැහැදිලිවම කියන්න පුලුවන් සෞඛ්‍ය රීතීන් යටතේ පරීක්ෂණ පැවැත්වුවහොත් කොළඹ නගරයේ ජනගහනයෙන් භාගයකට වඩා ආසාධිතයින් බව තහවුරු වීමට ඉඩකඩ තියෙනවා. මේක බරපතල තත්ත්වයක්.
පසුගිය ජුනි මාසයේ චීනයේ වූහාන් නගරයේ කළා වගේ සියලු දෙනාම පරීක්ෂණවලට භාජනය කරන්න සිදුවෙයි. දැනටමත් කොළඹ බොහෝ තැන්වල තත්ත්වය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. එම නිසා ඇන්ටිජන් පරික්ෂාව අවදානම් ප්‍රදේශවල සිදුකළ යුතුයි.
මේ වතුවල නිවාස ඉතා කුඩා ඒවා. එක ගේක පවුල් කීපයක් ජීවත් වෙනවා. සමහර වෙලාවට නිදාගන්නෙත් ෂිෆ්ට් එකට. ඔවුන්ට භාවිතයට ඇත්තේ පොදු වැසිකිළි, පොදු කරාම වගේම නාන කාමර. ඒ නිසා කොරෝනා වැනි ස්පර්ශයෙන්, කහින විට ඒත් නැත්නම් කිවිසුමෙන් පැතිරෙන රෝගයක් මේ ජනතාව අතර පැතිරෙන ප්‍රවණතාව වැඩියි.
ඔය වතුවල ෆ්ලැට්වල ලොක්ඩවුන් කළාම පාසල් ළමයි ඉඳන් ගෙදර නතර වෙනවා. ලොක්ඩවුන් එකේදි හුදකලා හින්දා කෙරෙන්න ඕන පුද්ගලයාගෙන් පුද්ගලයා ඈත් කොට තැබීම. ඒත් වෙන්නේ අසල්වැසියන් සමග සබඳතා වැඩිවීම නිසා රෝගය තවත් පැතිර යාම. ඒකයි මං කියන්නේ නිසි වැඩපිළිවෙළක් නැතුව මේ කොළඹ ලොක්ඩවුන් කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා.
දැන් කරන්න ඕන පීසීආර් පරීක්ෂණයට වඩා ඇන්ටිජන් ටෙස්ට් එක. ප්‍රතිදේහ බැලීම. මේ ලොක්ඩවුන් කරපු තැන්වල රාජකාරියේ යෙදෙන අයට ආරක්ෂක උපකරණ, මුළු මූණම වැහෙන ආරක්ෂිත ෆේස් මාස්ක්, දිග කබායවල්, ග්ලවුස් හිඟයකින් තොරව ලබාදිය යුතුයි.






