Press "Enter" to skip to content

කොරෝනා පැතිරීම වළක්වන පෙත්තක් ඇමෙරිකාවෙන්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත්, එය ආසාදනය වන පුද්ගලයාගෙන් තවත් කෙනකුට ආසාදනයවීම වැළැක්වීමට ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් බෙහෙත් පෙත්තක් හඳුන්වා දී ඇත.

මෙම බෙහෙත් මොල්නුපිරවර් යන නමින් හැඳින්වෙන අතර, වයිරස නාශක ඖෂධ වර්ග අතරට අයත් වෙයි. මොල්නුපිරවර් ඖෂධය ලබා ගැනීමෙන්, පැය 24 ක් ඇතුළත ආසාදිතයකුගේ සිරුරේ ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ වී තව කෙනකුට වයිරසය බෝ වන්නේ නැත. ඒ අනුව, සිදුවන්නේ වයිරස ආසාදිත තැනැත්තාගෙන් අනෙක් අය ආරක්ෂා වී වයිරස ව්‍යාප්තිය පාලනයයි.

‘කොවිඩ් 19’ වයිරස වසංගතයට එරෙහි සටනේ දී පළමු ජයග්‍රාහී පියවර වන්නේ වයිරස ව්‍යාප්තිය පාලනය වන අතර, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි සැමට එන්නතක් ලැබෙනතුරු වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට, මොල්නුපිරවර් ඖෂධයට හැකිවනු ඇතැයි වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි. පැපොල, හර්පීස් වැනි වයිරස අඩපණ කිරීම සඳහා භාවිතා කරන එසයික්ලොවර් කාණ්ඩයට අයත් ඖෂධයක් ලෙස බටහිර වෛද්‍යවරුන් මෙම මොල්නුපිරවර් ඖෂධය හඳුන්වා දී ඇත.

මොල්නුපිරවර් ඖෂධය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ‘නේචර් මයික්‍රෝබයෝලොජි’ විද්‍යා සඟරාවේ පළ වී ඇති අතර, ඇමෙරිකන් මාධ්‍ය, මොල්නුපිරවර් ඖෂධය ගැන ලොවට අනාවරණය කළේ එම වාර්තාව උපුටා දක්වමිනි.

මොල්නුපිරවර් වයිරස නාශක ඖෂධය තවමත් මූලික පර්යේෂණවල පවතින අතර, එය ‘කොවිඩ් 19’ ආසාදිත ෆෙරට් වර්ගයේ මුගටියන් යොදා ගනිමින් කළ පර්යේෂණවලදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. ඒ අනුව, ඉදිරියේ දී මිනිසුන් යොදා ගනිමින් සායනික අත්හදා බැලීම් කිරීමට වෛද්‍ය පර්යේෂකයෝ සූදානම් වෙති. මෙම ඖෂධය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසකගේ මූලිකත්වයෙනි.

මොල්නුපිරවර් ඖෂධය, ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට, නිපදවීම සිදුවී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය සම්බන්ධයෙන් ඖෂධයක් නිර්මාණය කරද්දී යැයි පැවැසෙයි. ‍

‘අප දන්නවා කොවිඩ් 19 අයත් වන්නේ කොරෝනා වයිරස පවුලට. කොරෝනා යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන, එම සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරස විශේෂයක්. ෆෙරට් මුගටියන්ට යොදා ගනිමින් අප කළ අත්හදා බැලීම් සාර්ථකව අවසන්. වයිරසය ව්‍යාප්තිය අඩපණ කිරීමට හැකියාව ලැබුණා. ඉදිරියේ දී මනුෂ්‍යයන් යොදා ගනිමින් පර්යේෂණ ආරම්භ කරනවා.’ යැයි මොල්නුපිරවර් ඖෂධය සම්බන්ධයෙන් ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ප්ලෙමර් පවසා ඇත.

නිව්යෝක්හිදීය (රොයිටර්)

More from GossipMore posts in Gossip »