භූමිතෙල් පානය කර මිය ගියේ යැයි කියනු ලබන 12 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා විවෘත තීන්දුවක් නිකුත් කළේය.
කොටහේන, සුමිත‍්‍රා මාවතේ පදිංචිව සිටි හපුගොඩගේ තරුෂි නවෝද්‍යා නැමැති පාසල් සිසුවිය ඉකුත් දිනෙක නිවසේදී භූමිතෙල් පානය කිරීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ඇය මෝදර බාලිකාවක 8 වන වසරේ අධ්‍යාපනය ලැබුවාය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්ම ලූවිස්හේවා මහත්මිය විසින් මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු අතර, වැඩිදුර පරීක්ෂණයන් කළ යුතුව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සදහන් කර තිබිණි.
ඒ අනුව මිය ගිය දැරියගේ මව සහ බාල සහෝදරයාගේ ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබු අතර, එම ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා පියවර ගත්තේය.
දියණිය වැසිකිළියට ගොස් සිටියදී බාල පුතු වැසිකිළි දොරට තට්ටු කර එය විවෘත කිරිම නිසා එයට උරණව දියණිය විසින් පුතුට පහරක් ගැසු බවත්, එයට තමා දියණියට බැණ වැදුණු බවත් මද වේලාවකට පසු දියණිය මුලූතැන්ගෙට ගොස් භූමිතෙල් පානය කැර හුස්ම ගැනීමට අපහසුව සාලයට පැමිණි බවත්, තමන් එසැනින් දියණිය කොළඹ ජාතික රෝහලට ගෙන ගිය බවත්, එහිදී ඇය ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් දැරියගේ මව වන ක‍්‍රිෂාන්තා ශ‍්‍රියානි සුරියආරච්චි (43) යන අය සාක්කි දෙමින් පැවසුවාය. මෙහිදී හපුගොඩ ඉන්දික රෝෂාන්, හපුගොඩ සවිදු හිමල්ෂ යන අයද සාක්ෂි දුන්හ.
අදාළ වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා මියගිය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙය විය.
උපුටා ගැනීම “දිවයින” පුවත්පතෙන්






