Press "Enter" to skip to content

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 15කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවක සේවිකාවන් පහළොස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට කොරෝනාවෛරසය ආසාදනයවී ඇති බවට පෙරේදා (7දා) හඳුනාගෙන තිබීම හේතුවෙන් මුළුතැන්ගෙය වසා දමා ආහාර පිසීම නවතා දැමීමට පියවර ගත් බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එම්. එම්. ඒ. එස්. මැදිවත්ත මහතා පැවැසීය.

ඒ මහතා ඒ බව කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් විමසීමේදී කියා සිටියේ රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවක සේවිකාවන් අටදෙනකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තමන්ට ද දැන ගැනීමට ඇති බවය.

එසේ හඳුනාගත් පිරිස අතර මුළුතැන්ගෙයි සේවය කරන පිරිමි පුද්ගලයන් හා එහි කාර්යාලයේ සේවය කරන කාන්තාවන් පිරිසක්ද සිටී.

ජාතික රෝහලේ මුළුතැන්ගෙය තුළ සේවය කළ දෙදෙනකුට මීට පෙර කොරෝනාවෛරසය ආසාදනයවී ඇති බවත් ඒ අනුව, එහි සිටි සේවක සේවිකාවන් හතළිස් දෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා (7දා) කළ පී.සී.ආර්. පරීක්‍ෂණයක ප්‍රතිඵල අනුව ඉහත කී ආසාදිතයන් අටදෙනා හඳුනාගෙන ඇති බව ද රෝහල් ප්‍රකාශකයා පැවැසීය.

රෝහලේ මුළුතැන්ගෙයි පිසින ආහාර කොළඹ ජාතික රෝහලට, කොළඹ දන්ත රෝහලට හා මාලිගාවත්ත වකුගඩු රෝහල්වල සේවයෙහි නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට දෙන බව ද එම ප්‍රකාශකයා පැවැසීය.

මෙම සිද්ධියෙන් පසු රෝහලේ මුළුතැන්ගෙයි අංශ දෙකම වසා දමා ආසාදිත නොවන සේවකයන් සියලු දෙනා සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ද අනාවරණය වෙයි.

එම මුළුතැන්ගෙයින් පිසින ලද ආහාර සැපයූ රෝහල්වල නේවාසික රෝගීන්ට හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර පිටතින් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද දැන ගැනීමට තිබේ.

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි පිසින ලද ආහාර රැගෙන යෑමට පැමිණි ඉහත කී වකුගඩු හා දන්ත රෝහල්වල සේවකයන් ද ස්වයං නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »