බුරවි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් ප්‍රදේශයට ආසන්නව මෙරට ඊසානදිග වෙරළෙන් දිවයිනට අද (2) රාත්‍රී 7.00ත් 10.00ත් අතර ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (2) පෙරවරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4ත් නැගෙනහිර දේශාංශ 83.4ත් ආසන්නව ස්ථානගතව පැවතිණි.
ඒ අනුව, මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව මෙරට නැගෙනහිර වෙරළට අද (2) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වේ යැයි අපේක්ෂා කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී. 80-90 පමණ වන බවත් එය පැ.කි.මී. 100 දක්වා වැඩි වන බවත් ය.
සුළි කුණාටුව හේතුවෙන්, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ. මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යා හැකි බවත් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.






