දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විභාගවලට පෙනී සිට ඉන් සමත් ව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටින රැකියාලාභීන්ව එරට බලධාරීන් සමග සාකච්ඡාකර කණ්ඩායම් වශයෙන් පිටත්කිරීමට තීරණය කර තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා, අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීය.
“කොරියානු ජනරජය සමග සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සදහා රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදුකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී,” යනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම සාකච්ඡාවේ දී කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සම්බන්ධ කරගෙන ඇති අතර විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුළුවීමේ අවසර ලබාගැනීම පිළිබඳ ව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අමාත්‍ය ජයරත්න මහතා විසින් එම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කර්යාලය බ්‍රහස්පතින්දා (26) කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සමග ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමටද කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග තුළින් විභාගය සමත්ව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැඳී සිටින 5,438ක් වන ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා සඳහා පිටත්කර යැවීම කඩිනම් කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.
විභාගය සමත්ව වෙබි අඩවියෙහි රැඳී සිටින පිරිසෙන් මේ වන විට 1,111කට වීසා සදහා අවශ්‍ය ලේඛන ද ලැබී ඇති බව සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.






