Press "Enter" to skip to content

කොවිඩ් ණය සහනයට ඉල්ලුම් කළ හැකි කාලය දීර්ඝ කරයි

වසංගතය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ව්‍යාපාරිකයන් ඇතුළු අයට ලබාදෙන මාස 06ක ණය සහනයට මෙම මස (නොවැම්බර්) 30 වැනිදා දක්වා අයැදුම් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඊයේ (09 වැනිදා) නිකුත් කරන ලද 2020 අංක 10 චක්‍ර ලේඛය ඔස්සේ මහ බැංකුව දැනුම් දී ඇත්තේ 2020 ඔක්තෝබර් 01 වැනිදා සිට 2021 මාර්තු 31 වැනිදා දක්වා කාලය සඳහා මෙම නව ණය සහනය ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව කොවිඩ් හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක, අපනයන, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, තේ, කුළු බඩු, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවලට මෙන්ම එම ක්ෂේත්‍රවල රැකියාවල නියුතු පුද්ගලයන්ට මෙම ණය සහනය වෙනුවෙන් වාණිජ බැංකු හරහා අයැදුම් කළ හැකිය. මීට අමතරව ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත සහ අගය එකතු කිරීම් නිෂ්පාදනවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මෙන්ම විදේශ විනිමය උපයන්නන්ට මෙම ණය සහනය වෙනුවෙන් අයැදුම් කළ හැකිය.

එමෙන්ම වාණිජ බැංකු වෙතින් ලබා ගත් ණය, ලීසිං පහසුකම් උකස් ඇතුළු කාණ්ඩ කිහිපයක් වෙනුවෙන් මෙම ණය සහනය අයැදුම් කළ හැකි වේ.

More from GossipMore posts in Gossip »