කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග පසුගිය ඔක්තෝබර් 08 වැනිදා සිට ඊයේ (08) දක්වා කොළඹ නගර සභා බල සීමාවේ පීසීආර් පරීක්‍ෂණ දසදහසක් සිදුකර ඇති බවත්, ඉන් කොරෝනා ආසාදිතයන් දෙදහස් එකසිය විසි දෙදෙනකු (2122) හඳුනාගෙන ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා කියයි.
මෙම පිරිස උතුරු කොළඹට අයත් ග්‍රෑන්ඞ්පාස්, මහවත්ත, මෝදර, මට්ටක්කුලිය, මාළිගාවත්ත යන ප්‍රදේශවල පදිංචි පළමු පෙළ ආශ්‍රිතයන් බවද හෙතෙම සඳහන් කරයි.
මෙම ආසාදිතයන් සියලූ දෙනා රෝහල්ගත කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
දැනට මෙම සිදුකර ඇති පීසීආර් පරීක්‍ෂණ දසදහසේ මුළු වියදම රුපියල් ලක්‍ෂ අසූවක් බවද ඒ මහතා කියා සිටියේය.
මේ අතර 07 වැනිදා දිනයේ කොළඹ නගරයේ නාට්ටාමිවරු 400 දෙනකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදුකළ බවත්, ඒ අතුරින් 80 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් හෙතෙම කීවේය.
ඊයේ (09) දිනයේ දී කොළඹ නගරයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හා මහල් නිවාස සංකීර්ණවල පීසීආර් පරීක්‍ෂණ 700 ක් සිදුකර ඇති බවද වාර්තා වේ.






