මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් – 19 වයිරස් ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල පැවැසීය. මානසික සෞඛ්‍ය දුර්වලවීමත් සමග රෝග සඳහා ප්‍රතිශක්තිය අඩුවීම ඊට හේතුව බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
‘‘අප මානසිකව පහත වැටී ඇත්නම්, චිත්ත ධෛර්යය පමණක් නොව අපගේ ශරීරයේ ප්‍රතිශක්තියද පහත වැටේ. අප කළ යුත්තේ වයිරසය ඉදිරියේ දණ ගසා උත්සාහයන් අතහැර දැමීම නොව, තවත් වසර දෙකක් අපට එය සමග ජීවත් වීමට සිදුවනු ඇති බව පිළිගැනීම සහ අපගේ ජීවිතයේ යම් යම් දේ වෙනස් කිරීම සහ අඩුපාඩු දරා ගැනීමට සූදානම් වීමයි’’ යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය. ‘සමාජ දුරස්ථභාවය’ යන යෙදුම පවා ඉතා වැරදි බවත් එය ‘පෞද්ගලික දුරස්ථභාවය’ ලෙස වෙනස් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.






