Press "Enter" to skip to content

ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්

කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.

නිරෝධායනය වන එක් පවුලක් වෙනුවෙන් දින 14 කට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ පළතුරු වර්ග ඇතුලත් මල්ලක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බවත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 6807 ක් සදහා ලබාදීම සිදු කරන බවත් දිසාපතිවරයා කීය.

මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 68 ක් වන අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහාවන ජාතික කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපති සහ අගමැති වරයාගේ උපදෙස් පරිදි මෙලෙස ආහාර මල්ලක් බැගින් ලබාදීමට තීරණය කොට තිබේ.

මේ අතර මසකට ආසන්න කාලයක් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි පවුල් සදහා රුපියල් 5000 ක දීමනාව ලබා දීමද සදුදා (2) දිනයේ ආරම්භ කෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම් කීය.

More from GossipMore posts in Gossip »