Press "Enter" to skip to content

ශ්‍රී ලාංකික දමිළයෙකු ලෙසින් ඉපදීම මම සිදු කළ වරදක් ද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව නිරූපණය කරමින් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නිපදවූ ‘800’ චිත්‍රපටය ඉන්දියාව තුළ මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඒ අනුව, ඊට ප්‍රතිචාර දක්වමින් මුත්තයියා මුරලිදරන් දමිළ බසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර, පහත දැක්වෙන්නේ එහි සිංහල අනුවාදනයයි.

මෙම විශේෂ ප්‍රකාශය මගින් මුරලි පවසා තිබුණේ විවිධාකාර වූ මතභේදාත්මක සිදුවීම් වලින් පිරුණු තම දිවියේ ලද සියලු අත්දැකීම්වලින් මෙහිදී ද වැඩි වෙනසක් අත් නොවිඳින බවයි.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද දක්වා තිබිණි.

“මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයන් මා හමුවී මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් දන්වා සිටි අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය ලබා දීමට මම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් මගේ ජීවන ගමනේදී දෙමාපියන්ට අත්විඳීමට සිදුවූ බලවත් පරිශ්‍රමයත්, මගේ පුහුණුකරුවන් සහ ගුරුවරුන් ඊට ලබා දුන් දායකත්වයත් මෙම චිත්‍රපටය මගින් ඉස්මතුකරලීමට හැකියාව ලැබෙතැයි මට හැඟී ගියා. මගේ පවුල සිය දුෂ්කර දිවි ගමන ඇරඹුවේ ශ්‍රී ලංකාවේ පිහිටි තේවත්තකයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක යුද්ධයෙන් විශාල පීඩාවකට ලක්වූ තවත් එක් ප්‍රධාන පාර්ශ්වයක් ලෙසින් උඩරට වෙසෙන ද්‍රවිඩ ජනතාව හඳුන්වාදිය හැකියි. ඒ අනුව අපගේ ජීවිත ආරම්භ වූයේ විශාල හැලහැප්පීම් මධ්‍යයේයි.

මෙම ‘800’ නමැති චිත්‍රපටය මඟින් මෙම බාධක අභියෝග ජයගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයට පත්වීමට මම දැරූ උත්සාහය ගැන කතිකාවතක් ගොඩනගනවා. ශ්‍රී ලාංකික දමිළයකු ලෙසින් ඉපදීම මම සිදු කළ වරදක් ද? (Is it my fault that I was born a Sri Lankan Tamil?) මම ඉන්දියාවේ ඉපදුණා නම් මීට හාත්පසින්ම වෙනස් ආකාරයකින් ඉන්දීය ජාතික කණ්ඩායම කරා පැමිණීමට මම උත්සාහ කරාවි. මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයකුව සිටියදීත් විවිධාකාර වූ වැරදි වටහාගැනීම් පැවැතියා.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට මම දැක්වූ ඇල්ම නිසා මගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වීමට මට අවස්ථාවක් උදාකළා. එමෙන් ම, මා සතුව පැවැති දක්ෂතාව නිසා මා කණ්ඩායමෙන් ඉවත් කිරීමට කිසිවකුටත් හැකියාවක් හෝ අවශ්‍යතාවක් පැවැතියේ නැහැ. එම නිසා මම නිතරම පවසන ආකාරයට පහත හෙළීම් අමතක කර දමා තම දක්ෂතාවය ගැන විශ්වාසය තැබුවහොත් සාර්ථකත්වය කරා ලඟා වීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය සඳහා අනවශ්‍ය ලෙස දේශපාලනය ඈදා ගැනීමත් සමගින් මම දමිළ ජනතාවට විරුද්ධ වූවා යැයි විවාදයක් ගොඩනඟා තිබෙනවා.”

තවද මෙහිදී තමා ශ්‍රී ලංකා රජයට සහාය දක්වන්නේ යනුවෙන් සඳහන් කරන ප්‍රකාශයන්ටද ප්‍රතිචාර දක්වා තිබූ මුරලි “මම මහජන සංහාරයක් සඳහා සහයෝගයක් දැක්වූයේ යැයි මින් පෙරත් මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කර තිබුණා. උදාහරණයක් වශයෙන් 2019 වසරේදී මම සිදුකර තිබූ ප්‍රකාශයක් වන 2009 වසර මගේ දිවියේ හොඳම වසර යනුවෙන් වූ ප්‍රකාශය දැක්විය හැකියි.

එහිදී විවිධ පාර්ශ්වයන් මෙම ප්‍රකාශය වරදවා තේරුම් කරමින් පවසා තිබුණේ මම දමිළ ඊළාම් ජනතාව සමූල ඝාතනය කිරීම සමරමින් එම ප්‍රකාශය සිදුකළ බවයි. කෙසේ නමුත් යුද්ධයකින් පීඩා විඳිමින් ජීවිතය ගෙවූ ජනකොටසක් වන අපට 2009 වසරේදී යුද්ධය අවසන් වීම ආශීර්වාදාත්මක වෙනසක් ලෙසින් හඳුන්වාදිය හැකියි.

එමෙන් ම, පසුගිය වසර 10ක කාලය මුළුල්ලේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයක ජීවිත හානියක් සිදු නොවීම සම්බන්ධයෙන් මම විශාල සතුටක් අත් විඳිනවා. මම කිසිලෙසකින්වත් සමූල ඝාතනයකට සහාය දැක්වූයේ නැති අතරම මින් ඉදිරියේදීත් සහාය දක්වන්නේ නැහැ. යුද්ධයෙන් බැට කෑ රටක් ලෙසින් හෙට කුමක් සිදුවේ ද යන්න අවිනිශ්චිත තත්ත්වයක අපි සිටියා. මා සමඟ අද පාසලේදී ක්‍රීඩා කරන මිතුරා හෙට දිනයේදී ජීවිතයෙන් සමුගෙන තිබෙන කාලයක අප ජීවත් වූවා. නිවසෙන් පිටවෙන සියලුදෙනා නැවතත් නිවසට පැමිණේවි යැයි අවිශ්වාසයක් පැවැති කාල වකවානුවක් අපි පසුකලා. කෙසේ නමුත් සාමාන්‍ය මිනිසකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල යුද්ධය අවසාන වීමත් සමඟින් මට විශාල සුරක්ෂිත බවක් දැනෙනවා. පසුගිය වසර 10 කාලයේදී අප එය අත්විඳිනවා.

ඒ අනුව 2009 වසර මගේ ජීවිතයේ සතුටුදායක දිනයක් ලෙසින් පවසන අවස්ථාවේදී මෙම කරුණ මගේ හදවතේ රැව්දුන්නා. මම කිසිදු අවස්ථාවක අහිංසක පුද්ගලයන් මරා දමනවාට සහාය දක්වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතර සිංහල ජනතාව අතර සුළුතරය වන දෙමළ ජනතාවට තම ආත්මාභිමානය වෙනුවෙන් විශාල අරගලයක් සිදුකළ යුතු වන්නේ නැහැ. මගේ දෙමාපියන් මින් පෙර සිතා සිටි අයුරින් තමන් දෙවැනි පන්තියේ පුද්ගලයන් පමණක් යන්න මමද අනුගමනය කළා නම් එහි අයහපතක් සිදුවෙනවා. කෙසේ වෙතත් මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයට ළඟා වීමත් සමගින් මට අවශ්‍ය වූයේ දමිළ ජනතාවගේ ආත්මාභිමානය වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායක වීමයි.” යනුවෙන් සඳහන් කර තිබිණි.

“මම කිසිදු අවස්ථාවක ජාතිකත්වය මත කිසිවකුටත් වෙන් වෙන් අයුරින් සලකා නැහැ. එහිදී සිංහලයකුටත්, ඊළාම්වාදී දමිළයකුටත්, වතුකරයේ ජීවත්වන දමිළයකුටත් එය එසේමයි. එමෙන්ම ‘සුනාමි’ ව්‍යසනයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සන්නාම තානාපතිවරයකු ලෙසින් මම කටයුතු කළ අවධියේදී එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලන ප්‍රදේශවල ජීවත වූ දරුවන් වෙනුවෙන් විශේෂ සහන සැලසීමේ වැඩපිළිවෙළවල් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලැබූවා. ඊළාම්වාදී දමිළ ජනතාවත් ඒ ගැන හොඳින් දැන සිටියා. එහිදී මා සමඟ කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානය මගින් ඊලාම්වාදී දමිල ජනතාවගේ දරුවන් වෙත අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීමත්, කාන්තාවන්ගේ සුබ සාධනය සඳහා විවිධ කර්තව්‍යයන් සිදු කරනු ලැබුවා. එය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විශාල සංඛ්‍යාවක් මා සතුව තිබෙනවා. එවැනි පරාර්ථකාමී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරන්තරයෙක් කතාකරන පුද්ගලයකු නොවෙයි මම.” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දක්වමින් මුරලි පවසා තිබේ.

mawbima.lk