Press "Enter" to skip to content

ගෝඨාභය කොමිසමට කැඳවා දිල්රුක්ෂි හොරෙන් බලා ඉඳලා

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී එහි ප්‍රකාශ සටහන් කරගන්නා ස්ථානයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා සවිකර කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙනත් ස්ථානයක සිට ප්‍රකාශ සටහන් කර ගැනීම නිරීක්ෂණය කර තිබෙන බව අනාවරණය වී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවැරීමට තරම් ප්‍රබල සාක්ෂි නොතිබියදී, දේශපාලන පළිගැනීමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කිරීම අල්ලස් ​කොමිසමට කැඳවා තිබෙන බවද අනාවරණය විය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ​ගෝඨාභය රාජපක්ෂට කෙසේ හෝ නඩු පැවරීමට අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බලපෑම් කර ඇතැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය අනාවරණය කළේය.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ බලපෑම මත, ගෝඨාභය රාජපක්ෂගෙන් විමසිය යුතු ප්‍රශ්න ඇතුළත් කොළකෑලි කිහිපයක් විමර්ශන නිලධාරීන් අතට පත් කර, එම නිලධාරීන්ද මානසික වශයෙන් පීඩාවට ලක් කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය පැවැසීය.

හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන වගඋත්තරකරුවන්ට ලබන 21 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සභාපති විනිසුරු උපාලි අබේරත්න සිතාසි නිකුත් කළේය.
aruma.lk