Press "Enter" to skip to content

කොරෝනා පාලනය කළත් ඉදිරි දින කීපය තීරණාත්මකයි

කොරෝනා වෛරසය පැතිරයාම මේ වනවිට සම්පූර්ණයෙන් ම පාලනයට නතු කර තිබුණත් ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් කොරෝනා වෛරස ආසාදිතයකු බවට පත් නොවී සිටීමට කොයි කවුරුත් වගබලා ගතයුතු බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම නිසා කොරෝනා වෛරස ආසාදිතයන් පිළිබඳව සහ රෝග ලක්ෂණ තිබේනම් වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන්ට අවශ්‍ය රෝහල් පහසුකම් මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානද අවශ්‍ය තරම් පුළුල් කර ඇතැයිද යම්කිසි ලෙසකින් ඉදිරි දිනවලදී රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට කටයුතු යොදා තිබෙන බවද හමුදාපතිවරයා කීය.

අයි.ඩී.එච්. රෝහල කේන්ද්‍ර කරගනිමින් කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන්නද අවශ්‍යතා පුළුල් වීමත් සමග ම රෝහල් ගණනාවකම ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සලසා දුන් බවද යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය.