කොවිඩ්-19 මර්දනය කෙරෙන ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ වර්ග 2ක් ලබන 12 වන සඳුදා හඳුන්වා දෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේදී 12 වන සඳුදා උදෑසන 10.00ට මෙම ඖෂධ වර්ග දෙක හඳුන්වාදීමට නියමිතය.
කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට චූර්ණයක් සහිත එක් ඖෂධ වර්ගයක් ලබාදුන් බවත් එම ඖෂධය ලබාගත් කොරෝනා රෝගීන් කඩිනමින් සුවය ලැබූ බවත්, පසුගිය කාලය තිස්සේ අත්හදා බැලූ මෙම ඖෂධය කොරෝනාවෛරසය ශරීරගත වූ පුද්ගලයන්ට ලබාදීම දේශීය වෛද්‍යවරුන් විසින් අනුමත කර තිබෙන බවත්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
අනෙක් ඖෂධ වර්ගය ප්‍රතිශක්තිකරණ පානයක් බවත් කොරෝනාවෛරසය වැළඳී නොමැති ඕනෑ ම කෙනකුට තමාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙම ඖෂධය ලබාගත හැකි බවත් සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. මීට අමතරව උගුර සෝදන දියරයක්ද සඳුදා දින හඳුන්වා දෙන බවද මෙම දේශීය ඖෂධ වර්ග දෙක සහ උගුර සෝදන දියරය ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් නිෂ්පාදනය කර තිබෙන බවද සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
දේශීය ආයුර්වේදයේ පාරම්පරික ඖෂධ වට්ටෝරු කිහිපයක් උපයෝගී කර ගෙන ඒවා පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර අත්හදා බැලීමෙන් අනතුරුව මෙම දේශීය ඖෂධ හඳුන්වාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.