Press "Enter" to skip to content

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා උපාධි පාඨමාලාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාව අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමේ කටයුතු කඩිනම් කර තිබේ. ඒ අනුව පසුගිය 18 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ අතර මූලික සාකච්ඡාවක් පැවැත් විණි.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අතරද මේ සම්බන්ධ සාකච්ඡාවක් දෙවැනි වරටත් ඊයේ (20 වැනිදා) පැවැත් විණි. මීට පෙර සංගමය විසින් උපාධි පාඨමාලාව ආරම්භ කිරීමට කළ යෝජනා හා එහි දී පැන නැඟුණු ගැටලු ආදිය කෙරෙහි මෙම මූලික සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

ලබන වසරේ මුල සිටම උපාධිය හැදෑරීමේ අවස්ථාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යන ආයතන තුන එක්ව සිටී.