කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිවී, නැවත මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ පිළිබඳ චක්‍රලේඛයක් විදේශ රැකියා නියෝජිතයින් වෙත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ විසින් නිකුත් කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
ඒ අනුව, අදාළ අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, එම ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබ සාධන අංශය මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
ඒ සඳහා අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයන් වෙත යොමු කිරීමෙන් අනතුරුව වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලැබෙනු ඇති.
නව රැකියා සඳහා එසේ ලියාපදිංචි වීමේදී ගෘහ සේවයට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාව ද අවශ්‍ය නොවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ.
මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් තුන්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා සංඛ්‍යාව 3287 දක්වා ඉහළ ගියා.
ඔවුන් තුන්දෙනාම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පිරිසක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 186ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3,088 ක්.
එමෙන්ම කටාර්, එක්සත් අරාබි එමීර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 764 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අළුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයන් 413 දෙනෙකු අද අළුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 294 දෙනෙකු පැමිණි ඇත්තේ මත්තල ගුවන්තොටුපළ වෙතයි.
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා හි සිට ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු සහ ජපානයේ නරීටා හි සිට ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු කටුනායක වෙත පැමිණ තිබෙනවා.