රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකළ තැලිසීමියා රෝගී දරුවන්ට ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය ඔක්තෝබර් 01 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂගේ සහ සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
තැලිසීමියා රෝගී දරුවන් සහ රුධිරගත රෝගවලින් පෙළෙන දරුවන්ට දායකයකුගෙන් ලබාගන්නා ඇටමිදුලු බද්ධ කිරීම පළමු වරට රජයේ රෝහලක් තුළ සිදු කිරීම මේ අනුව ඇරැඹෙන බව රෝහල් අධ්යක්ෂ ජී. විජේසූරිය සඳහන් කළේය.
ඇටමිදුලු බද්ධ කිරීම මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් සඳහා සිදුකරන නමුත් එහිදී කරනුයේ රෝගියාගේම ඇටමිදුලු ඔහුටම බද්ධ කිරීමය.
එහෙත් තැලිසීමියා රෝගී දරුවන්ට ඇටමිදුලු බද්ධ කරනුයේ වෙනත් පුද්ගලයකුගෙන් ලබාගත් ඒවා වන අතර මෙය තැලිසීමියා රෝගය හෝ වෙනත් රුධිරගත රෝගයක් නිට්ටාවට සුව කළ හැකි සාර්ථකම ක්‍රමයක් යැයි රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධීර පැවසුවාය.
ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා එක් රෝගී දරුවකුට රුපියල් ලක්ෂ 60-80 ක් පමණ වැයවන බවත් මෙය දැනට පෞද්ගලික අංශයේ පමණක් සිදුකරන බවත් ඇය පැවසීය.
මේ වනවිට ඇටමිදුලු බද්ධ කිරීම සඳහා දරුවන් සියදෙනකු පමණ රෝහල තුළ ලියාපදිංචි වී සිටින අතර මෙම දරුවන් දිවයිනේ නන් දෙසින් ළමා රෝහල වෙත එවා ඇති බවද විශේෂඥවරිය සඳහන් කළාය.