මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
අදාළ දැනුම්දීම අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ද යොමු කළ බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සදහන් කළේ.
2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණයට විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළා.
කෙසේ වෙතත්, මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට වැඩිම මනාප ලබා ගනිමින් ඔහු මැතිවරණයෙන් ජයග්‍රහණ කරනු ලැබුවා.
ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ඇති හැකියාව පිළිබදව පසුගිය දිනවල වාද විවාද මතු වුණා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව අභියාචනයක් ඉදරිපත් කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට කඳවන ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කරන ලෙසයි.
ඒ අනුව, පසුගිය සිකුරාදා කථානායකවරයා නිවේදනය කළේ ලබන 08 වැනි දින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත්, එවන් පසුබිමක ප්‍රේමලාල් ජයසේකරගේ තත්ත්වය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් විමසා සිටි අතර, ඒ අනුවයි නීතිපති දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
Published in Political