Press "Enter" to skip to content

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුතුයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල උපකුලපතිවරු සමග අද (15) සවස ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී මම ප්‍රකාශ කළෙමි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකිය.

උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව මම ඔවුනට පෙන්වා දුන් අතර දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නා මෙන් උපදෙස් දුනිමි.