Press "Enter" to skip to content

ප්‍රධාන රෝහල් 4ක PCR 10,000ක් ගොඩගැහිලා

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ වර්තනය පාලනය කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණාගාර ධාරිතා පහසුකම් නොමැතිවීම හේතුවෙන් ගාල්ල, කරාපිටිය රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් 4ක ගොඩ ගැසී තිබෙන පී.සී.ආර්. සාම්පල 10,000ක පමණ පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

එසේ පරීක්ෂණ ප්‍රතිපහල ලබා දීමට නොහැකි වීම හේතුවෙන් කරාපිටිය රෝහල තුළ පී.සී.ආර්. සාම්පල 2,145ක් ද අනුරාධපුර රෝහල තුළ සාම්පල 1500ක් ද අයි.ඩී. එච්. රෝහල තුළ සාම්පල 1,800ක් ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සාම්පල 4,500ක් ද ගොඩ ගැසී ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ ලැබෙන පී.සී.ආර්. සාම්පල සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයේ ගබඩා කර තැබීම සිදු කළ යුතුව ඇති නමුත් කරාපිටිය රෝහල තුළ ඒ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් ප්‍රමාණවත් නොමැති බවත් එකී ගැටලුව නිසා දෛනිකව ලැබෙන සාම්පල එම රෝහලේ අයිස් කාමර තුළ අසුරා තැබීමට සිදුව ඇති බවත් ය.

ඉහත කී සාම්පල භාර ගැනීම, තෝරා ගැනීම, දත්ත පරිගණකගත කිරීම ඇතුළු ඒ හා සම්බන්ධ සෙසු කටයුතු කිරීම සඳහා එම රෝහල තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවද පැය 10ක් 15ක් අඛණ්ඩව සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්, තාක්ෂණ නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආහාර ගැනීම, විවේක ගැනීම, ස්නානය කිරීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් ඉහත කී සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්ත්වයෙන් මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් මෙම පරීක්ෂණ ප්‍රතිඵල ඉතා කඩිනමින් ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා ආණ්ඩුව වහා මැදිහත්විය යුතු බවය.

More from GossipMore posts in Gossip »