Press "Enter" to skip to content

බ්‍රැන්ඩික්ස් පොකුරේ වෛරසය ඉතා ප්‍රබලයි

බ්‍රැන්ඩික්ස් ආයතනයේ හඳුනාගත් කොරෝනා පොකුරේ ආසාදිතයන්ගේ ශරීරගතවී ඇති වෛරස සාන්ද්‍රණය ඉතා අධික මට්ටමක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ පොකුර සම්බන්ධයෙන් මෙන් ම පළමු තොරතුරු වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව මෙන් ම ඇගේ ආශ්‍රිතයන් ඇසුරෙන් සොයාගත් නව ආසාදිතයන්ගේද ශරීර තුළ වෛරස අධික සාන්ද්‍රණයක් අඩංගු වී ඇති බව තමා වෛද්‍ය පර්යේෂණායතනයෙන් තොරතුරු විමසා බැලූ විට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පවසයි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ශරීරගත වී තිබූ කොරෝනාවෛරසයේ ස්වභාවය මේ නව පොකුරේ ආසාදිතයන්ගේ ශරීරගතවී ඇති කොරෝනාවෛරසයේ ස්වභාවයට සාපේක්ෂව අධික සාන්ද්‍රණයකින් යුක්ත විම තුළ වයිරසය යම්කිසි වෙනසකට ලක්වී ඇතැයි අනුමාන කළ හැකි බවද හෙතෙම පවසයි.

මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ හරහා එක් පුද්ගලයකුගෙන් තවත් බොහෝ දෙදෙනකුට වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඉතා ඉහළ අගයක් ගන්නා බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි. මීට පෙර මෙරටින් හමු වූ නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුරට වඩා බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වන කොරෝනා පොකුරේ ප්‍රබලත්වය ඉතා බලවත් නිසා එය නිසි අයුරින් කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල පසුබෑමකට ලක්විය හැකි බවත් වෛද්‍යවරයා තවදුරටත් පවසයි.

පසුගිය කාලයේදී මෙරටින් වාර්තා වූ සියලුම කොරෝනා රෝගීන්ගේ මූලාශ්‍රයක් සොයා ගැනීමට හැකි වුවත් මේ පොකුර හඳුනාගත් පළමු ආසාදිත කාන්තාවට රෝගය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ නිශ්චිත මූලාශ්‍රයක් මේ වනතුරුත් හෙළිකර ගැනීමට නොහැකි වීම භයානක තත්ත්වයක් බවත් හෙතෙම අවධාරණය කරයි. සමාජය තුළ කොරෝනා ආසාදිත රෝගීන් නැති බව පැවසූ වකවානුවක මේ කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ නිශ්චිත මූලාශ්‍රයක් සොයාගැනීමට නොහැකි නම් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ හෝ සමාජය තුළ වෛරසය ව්‍යාප්ත වී තිබී ඇතැයි අනුමාන කළ හැකි බවද පවසන වෛද්‍යවරයා තවදුරටත් පවසනුයේ මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ විස්තරය රටට හෙළිදරව් කිරීම අතිශයින් වැදගත් බවයි.