Press "Enter" to skip to content

ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් ලැබෙන දායකත්වය අති විශාලය.

“ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදුකිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇති බවත්, විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දී ඇත,” යනුවෙන් එම යෝජනාවේ තවදුරටත් සඳහන් වේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

  • ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන ගෝ ඝාතක ආඥා පනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම.
  • ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනය කිරීම හා සහන මිලකට ලබා දීම සඳහා නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  • කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත්වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
  • එකී පියවරයන් ගැනීමට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම.