හලාවත ආදාහානාගාරය පිහිටි භූමියට ඊයේ (20දා) පෙරවරුවේ අහසින් මාළු දැලක් වැටී ඇති බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා පැවැසීය.
මේ මාළු දැල වැටෙන අවස්ථාවේ තද වර්ෂාවක් තිබී ඇත. අඩි දෙසිය පනහක් හා කිලෝග්රෑම් තුන්සියයක් පමණ බර මේ දැල අහසේ පාවෙමින් පැමිණ මේ ස්ථානයට වැටෙන අයුරු කිහිපදෙනකු දැක ඇත. මේ සිදුවීම මුලින්ම දුටු හලාවත ශිල්ප ආයතනයේ ආරක්ෂක නිලධාරි මිලාන් ජෝසප් මහතා කියා සිටියේ මේ දැල හලාවත මුහුද දෙස සිට ඉහළ අහසේ සිට පැමිණ එකවර ආදාහනාගාරය දෙසට වැටුණු බවයි.
මෙය දුටු කිහිපදෙනකු පැමිණ දැල රැගෙන යෑමට උත්සාහ කළත් නගර සභාවේ මුරකරු ඊට ඉඩ නොදී මේ බව හලාවත නගර සභාවේ සභාපතිවරයාට දැනුම් දුන් බව පැවැසීය.
මේ දැලේ ඇති විශේෂත්වය වන්නේ ගැට නොමැති වීම හා වරක් ඉරුණු පසු නැවත මසා දැමීමේ නොහැකියාවයි. දැල දැක බලා ගැනීම සඳහා පැමිණි හලාවත වැල්ල ධීවර සමිතියේ සභාපති රොෂාන් ප්රනාන්දු මහතා ප්රකාශ කළේ මේ දැල ශ්රී ලංකාවේ ධීවරයන් භාවිත නොකරන දැලක් බවයි. නයිලෝන් නූලෙන් වියා ඇති මේ දැල චීනය, තායිවානය හෝ ඉන්දියාවට අයත් එකක් විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
මේ දැල දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් ඊයේ (20දා) පෙරවරුවේ සිට හලාවතට පැමිණෙති.
(mawbima)