Press "Enter" to skip to content

වටිනා ඉඩම්වලට හොර ලියකියවිලි හැදූ 21ක් දැලේ: නීතීඥයොත් ඒ අතර

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රධාන නගරවල ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සාදා කෝටි ගණනින් මුදල් වංචා කළ සංවිධානාත්මක ජාවාරම්කරුවන් 21ක් ඊයේ (18) වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිඥවරුන් නොතාරිස්වරුන් සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවල නිලධාරීන් කිහිප දෙනකුද සිටින බව පැවසේ.

නගර සභා හා ප්‍රාදේශීය සභාවල නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු සොයමින් සිටින බව වාර්තා වේ.

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත් වී ඇතැයි කියන මෙම ජාවාරමට දෙමළ ඩයස් පෝරාවේ හා පාතාලයේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳව පරීක්ෂණ දැන් ක්‍රියාත්මක අතර ඒවාට සම්බන්ධ කිහිප දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙසේ ව්‍යාජ ඔප්පු සැකසීම පිළිබඳ අවස්ථා වඩාත් වාර්තා වී ඇත්තේ විදේශගත වූ පුද්ගලයන්ගේ සහ පැරැණි වලව්වලට අයත් පාරම්පරික ඉඩම් සඳහාය.

මේ පිළිබඳව කළ විමසීමකදී රෙජිස්ට්‍රාර් ජනරාල් එම්. පී. විතානගේ මහතා කියා සිටියේ මෙයට විසඳුමක් ලෙස ‘ඊ ලෑන්ඩ්’ නම් වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සෑම ඉඩම් හිමිකමක් සඳහාම වෙනස් කළ නොහැකි හෝ ඉවත් කළ නොහැකි ඉලෙක්ට්‍රොනික පත්ඉරු සකස් කරන බවය.වර්තමානයේ රටේ ඉඩම් පත්ඉරු ලක්ෂ 1500ක් පමණ ඇති අතර ඉන් දැනටමත් පත්ඉරු ලක්ෂ 520ක් ස්කෑන් කර ‘ඊ ලෑන්ඩ්’ වැඩසටහන සඳහා ඉලෙක්ට්‍රොනිකව දත්ත ගබඩා කර ඇති බව හෙතෙම කියා සිටී.

මේ අතර, ප්‍රාදේශීය නගර සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ සහය ඇතිව ව්‍යාජ වරිපනම් අංක සැකසීම, ව්‍යාජ ගොඩනැගිලි සැලැසුම් ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

(srilankamirror.com)