5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු වන 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු විසින් තමන්ව බදා ගැනීම, පපුව මිරිකීම හා ඇඟපත අත ගෑම යන ක්‍රියාවන් සිදුකර ඇති බවය.
මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.