Press "Enter" to skip to content

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා රට යයි

මේ වසරේ ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) සඳහා සහභාගී වීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ඊයේ (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

මහේල මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ඔහු එම ධූරය දරන්නේ අඛණ්ඩව සිවුවැනි වරටය.

ගියවර IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ජයග්‍රහණය කෙළේය.

මේ අතර, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයා ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් සැප්තැම්බර් 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 08 වැනිදා අවසන් වේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පෙරේදා (20) මහේල ජයවර්ධන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කළ අතර මේ අනුව ඒ මහතා ලබන නොවැම්බර් 08 වැනිදා දක්වා මාස තුනකට වැඩි කාලයක් එම සභාවේ කටයුතු සඳහා සෘජුව දායක නොවන බවද වාර්තා වේ.