බොහෝ දෙනාගේ ජීවිතවල සිහින තිබේ. එහෙත් ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා අභියෝග ජයගෙන, ඉලක්කය කරා යන සැළැස්මක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන අය හමුවන්නේ කලාතුරකිනි.
අවුරුදු 19දී උපාධි දෙකක්
ඇය හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීම හේතුවෙන් ඉහළ පංතියකට ඇතුළත් වීමේ අවස්ථාව [Double promotion] හිමිවීමත් සමග වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයටත්, අවුරුදු 15දී උසස්පෙළ විභාගයටත් පෙනී සිටි ආචාර්ය බුද්ධිමා සුබසිංහ වයස අවුරුදු 19 වන විට පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණයට අදාළව උපාධි දෙකක් සම්පුර්ණ කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් [SLIIT] සහ කර්ටින් විශ්ව විද්‍යාලයෙනි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ආචාර්ය බුද්ධිමා සුබසිංහ 2017 වසරේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී සිය ආචාර්ය උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තාය.
”මම PhD එක පටන් ගත්තේ ලංකාවේ ලාබාලම ආචාර්ය උපාධිධාරිනිය වෙනවා කියන ඉලක්කය තියාගෙන. ඒ නිසා මම ඩිරෙක්ට් PhD එකකට ලියාපදිංචි වුණේ. ඒ වෙනකොටත් මම පර්යේෂණ කරලා, හොඳම පර්යේෂණ පත්‍රිකාවලට හිමි සම්මානත් අරගෙන තිබුණ නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඩිරෙක්ට් PhD කරන්න අවස්ථාව දුන්නා.” යනුවෙන් ඇය අතීතය සිහිපත් කළාය.
”මම අද ගොඩාක් සතුටු වෙනවා ලංකාවේ ළාබාලම ආචාර්ය උපාධිධාරිනිය විදියට වයස අවුරුදු 24 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකිවීම ගැන. වයස කියන්නේ ඉලක්කමක් විතරයි” යනුවෙන් ආචාර්ය බුද්ධිමා සුබසිංහ කියා සිටියාය.