ඇතැම් සතුන් තම ස්වාමියා කෙරෙහි දක්වන බැඳීම මේ සියලු බැඳීම් අභිභවා යන්නකි. විශේෂයෙන්ම මිනිසාගේ ළඟම හිතවතා යන විරුදාවලිය ලැබූ සුනඛයන්, තම ස්වාමියා කෙරෙහි දක්වන මහත් වූ භක්ති ආදරය බොහෝ මිනිසුන් තුළද දැකගැනීම උගහටය. ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය සමග, මේ භයානක වෛරසයෙන් මුලින්ම බැටකෑ චීනයේ වූහාන් නගරයෙන්ද අපට වාර්තා වන්නේ හද කම්පා කරවන එවැනිම වූ සුවිශේෂී බැදීමක කතා ප්රවෘත්තියකි.
දැනට මාස තුනකට පෙර කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් වූහාන් නගරයේ තායිකාං රෝහලට ඇතුළත් කෙරුණු තම ස්වාමියා පැමිණන තුරු සෑම දිනකම රෝහලට වී ඉවසීමෙන් බලා සිටින අමුත්තා එම රෝහල් කාර්යමණ්ඩලයට අමුතෙකු නොවීය. නමුදු වඩාත් කනගාටුදායක පුවත වූයේ මේ සුනඛයාගේ ස්වාමියා රෝහලට ඇතුළත් කර දින පහකට පසුව සංකුලතා උත්සන්න වීමෙන් මියගොස් තිබීමය. සිය වයෝවෘද්ධ ස්වාමියාට වෛරසය ආසාදිතව පසුගිය පසුගිය පෙබරවාරි මාසයේදී වූහාන් රෝහලට ඇතුළු කෙරෙන විට වයස අවුරුදු 7ක් වන මේ කුඩා සුනඛයාද රෝහල් කාර්යමණ්ඩලයේ සිත් දිනාගනිමින් ස්වාමියා සමග රෝහල වෙත පැමිණ තිබුණි. නමුත් තම ස්වාමියා යළි නොඑන බව නොදැන මාස තුනකට වැඩි කාලයක් තායිකාං රෝහලේ ලොබියේ මේ සුනඛයා ඉතා උනන්දුවෙන් බලා සිටින දසුන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුළක් ගෙනදෙන දසුනක් බවට පත්විය. කරුණාවන්ත හදවත්වලින් පිරි රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම, රෝහලට පැමිණෙන ඇතැම් රෝගීන්ගේද සැලකිල්ල නිසා මේ සුනඛයා මේ තාක්කල් පෝෂණය වීය.