Press "Enter" to skip to content

අම්ෆන් සුළි කුණාටුව අති ප‍්‍රචණ්ඩ වන ලකුණු

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව තී‍්‍රකුණාමලයට ඊසාන දෙසින් ස්ථානගතව පවතින ‘‘අම්ෆන්’’ චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 06 තුලදී අතිශයින්ම චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවේ.

එමෙන්ම මේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙන්නේ.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් අද දහවල් ස්වයංකී‍්‍රයව විවෘත වී තිබෙනවා.

එම ජලාශයේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් තදවැසි පතිතවුවහොත් එම ජලාශයේ සියලූම වාන්දොරටු ස්වයංකී‍්‍රයව විවෘත වන බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා ප‍්‍රකාශ කළේ.

ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකින් ආපදා වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ. ආපදා මරණ 03 ක් ද ඒ අතර වන බව ඔහු සඳහන් කළා.