කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට වාර්තා වූ 07 වන මරණය අද (08) වාර්තා වුණා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු ජර්මනියේ සංචාරය කොට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඔහු සමග එම සංචාරයට එක්ව සිටි ඔහුගේ මිතුරාටද කොරෝනා වෛරසය වැලදී ඇති බව මිට පෙර තහවුරු වුණා. පසුව සෞඛ්‍ය අංශ විසින් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටි අතර ඔහුට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම තමන් වෙත දැනුම් දෙන ලෙසටද දැනුවත් කර තිබුණා.
තම මිතුරාට කොරෝනා වෛරසය වැලදී ඇති බව දැන ගැනීමෙන් පසු ඔහු කොළඹ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින් කොරෝනා නියැදි පරීක්ෂාවක් සිදුකර ගෙන තිබු අතර එහිදී ඔහුට එම වෛරසය වැලදී ඇති බව තහවුරුවී තිබුණු ඔහු රෝහල් ගත නොවී නිවසේ සැඟවී සිටිය අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත කරුණු වාර්තා වී තිබුණා.
මෙම පුද්ගලයාව රෝහල් ගත කිරිමට සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක බලධාරීන් දැඩි වෙහෙසක් ගත් අතර පසුව ඔහු රෝගය වැලදී ඇති බවට තහවුරුවී දින කිහිපයකට පසුව IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඒ ඉකුත් මාර්තු මාසයේ දෙවන සතියේදීය.
තමන්ට වෛරස් රෝගයක් වැලදී ඇති බවට කරුණු සනාථ වී තිබියදී සෞඛ්‍ය බලධාරින්ගේ නියෝගයන්ට අවනත නොවීම හේතුවෙන් නිරෝධායන නීති කඩ කිරිම හේතුවෙන් මෙම පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබෙනවා.