බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන පොඩි මැණිකේ ශීඝ්‍රගාමි දුම්රිය අඹේවෙල පැත්තේ සිට නානුඔය (පැරකුම්පුර) දෙසට ඇදී ගියාය. ඒ වේලාවේ දුම්රිය මාර්ගය පරීක්ෂාවේ යෙදී සිටි දුම්රිය මාර්ග සංචාරක මුරකරු දිනේෂ් කුමාර නානුඔය පැත්තේ සිට අඹේවෙල දෙසට ක්‍රමයෙන් මාර්ගය දුම්රිය මඟ දිගේ ඉහළට ගමන් කරමින් සිටියේය. ක්ෂණයකින්ම ඔහුගේ ඇස් උඩ ගියේය. පොඩි මැණිකේ දුම්රිය ගමන් කළ දුම්රිය මඟේ දුම්රිය රේල් පීල්ලක අඩි එකහමාරක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබිණි. දුම්රිය පීලි නොපැන තිබුණේ පුදුමාකාර වාසනාවකටය. දුම්රිය පහළට ධාවනය වෙද්දී වැඩි මැදිරි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් පසුව හෝ පසුපස එන්ජිම ගමන් කිරීමේදී ඒ පීල්ල කැඩී යන්නට ඇත. නො එසේ නම් දුම්රිය පීලි පැනීමට ලක්වනු නියතය.
ක්ෂණයකින් දිනේෂ් කුමාරට සිහිපත් වූයේ මේ වන විට කොළඹ සිට බදුල්ල බලා යන දුන්හිඳ ඔඩිසි සුපිරි සංචාරක දුම්රිය එමින් තිබෙන බවයි. ඔහු වහා ඒ ගැන සොයා බැලුවේය. ඔහුගේ සිතිවිල්ල නිවැරැදිය. ඒ වන විටත් පොඩි මැණිකේ දුම්රිය එන තුරු නානුඔය නවතාගෙන සිටි දුන්හිඳ ඔඩිසි දුම්රිය වේගයෙන් අඹේවෙල දෙසට එමින් තිබිණි.
දිනේෂ් කුමාර යළිත් වහා ක්‍රියාත්මක වී රේල් පීල්ල කැඩී ඇති බව තම සේවා ස්ථානයට දැනුම් දුන්නේය. ඒ සමඟම රතු කොඩියක් ද ගෙන ඉහළට යන තම ගමන පසෙකලා නානුඔය දෙසින් පැමිණෙන ඔඩිසි දුම්රිය නවතාලීමේ වෑයම ක්‍රියාත්මක කළේය.
ඉදිරියට එන දුම්රිය නවතා නොගතහොත් විශාල අනතුරක් සිදුවනු නිසැකය. වෙනත් මාර්ගවල මෙන් නොව, උඩරට මාර්ගයේ පීලි පනින දුම්රිය පොඩ්ඩක් එහාට මෙහාට වුව හොත් අඩි සිය ගණනක් ප්‍රපාතයකට වැටීමට ඉඩ ඇත.
විනාඩි කිහිපයකින් දුන්හිඳ ඔඩිසි දුම්රිය පීල්ල කැඩී ගිය තැනට පැමිණියේය. ගිනි මද්දහන වුවද අධික සීතලෙන් නම් අඩුවක් නැත.
සිද්ධිය සැල වූ වහා ඒ ගැන සොයා බැලූ පට්ටිපොළ දුම්රිය අධීක්ෂණ කළමනාකරු ජානක මනම්පේරි විසින් දුම්රිය මාර්ගය වහා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගත්තේ දුන්හිඳ ඔඩිසි දුම්රිය ඒ වන විටත් සංචාරකයන්ගෙන්, විශේෂයෙන්ම විදෙස් සංචාරකයන්ගෙන් පිරී තිබුණු හෙයිනි. මෙහිදී සියලු සේවක පිරිස් විසින් ඉතා ඉක්මනින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර, දුම්රිය ගමන් කිරීමට ඉඩ සලස්වන ලදි. දුම්රිය පමා වූයේ ඉතා සුළු කාලයක් පමණි.
මෙහි සුවිශේෂත්වය වන්නේ මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු 9 පාලම හරහා සංචාරකයන් රැගත් දුම්රියක් යම් හෙයකින් පීලි පැනීමකට ලක් වූවා නම් විශාල ව්‍යසනයක් සිදු වන්නට ඉඩ ඇති හෙයිනි. එය ලෝකයටම යන්නේ ආරුක්කු පාලම ප්‍රසිද්ධ වූවාටත් වඩා වැඩි වේගයකිනි. විශාල විනාශයක් වූවා නම් විදෙස් සංචාරකයන් උඩරට සිරි නැරඹීමට පැමිණීම මුළුමනින්ම නවතින්න පවා ඉඩ තිබිණි.
තම අත්දැකීම ගැන සිළුමිණට අදහස් දැක්වූ දිනේෂ් කුමාර පැවසුවේ රාජකාරිය දේවකාරියටත් වඩා ලොකු බවයි.
“සිද්ධිය වෙනකොට වෙලාව දවල් 1ට කිට්ටුයි. මම රේල්පාර බලමින් උඩට ගියා. පොඩි මැණිකේ මාව පහු කරගෙන කොළඹ පැත්තට ගියාට පස්සෙ මම අඹේවෙල පැත්තට තවත් ඉස්සරහට ගියා. ටික දුරක් යද්දි තමයි මේ සිද්ධිය දැක්කෙ. කෑම කාල තිබුණෙත් නැහැ. ඒ සේරම පැත්තක තියල මම ඉක්මනින් පීල්ල කැඩිච්ච එක ගැන දැනුවත් කරලා, දුම්රියත් නවත්තන්න කටයුතු කළා.
“එදා වෙන දවස්වල වගේ නෙමෙයි, හොඳ වෙලාවට අපේ කට්ටිය පැරකුම්පුර උප දුම්රිය ස්ථානය කිට්ටුව වැඩ වගයක හිටියෙ. ඒක නිසා කෝච්චිය පරක්කු නොකර යවන්න පුළුවන් වුණා. සංචාරක මුරකරු ධුරයේ වගකීම මම හරියට කළා කියල හිතනවා.
“මගේ ගම වැලිමඩ. පුතා මේ අවුරුද්දෙ 5 ශිෂ්‍යත්ව විභාගෙ ලියන්නෙ. ඒ ගැනත් මම හොයන්න ඕනෑ. නෝනා ගෙදර ඉඳන් දරුවට ඉගැන්නුවට මට ලොකු වගකීමක් තියෙනවා. කලින් මම අඹේවෙල වැඩ කළේ. මේ සීතල කාලගුණයත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ. ඒක් රාජකාරිය දේවකාරියට වඩා ලොකුයි කියන දේ තමයි මම කරන්නෙ.”
පට්ටිපොළ අධීක්ෂණ කළමනාකරු ජානක මනම්පේරි මහතා වසර 32ක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන්නෙකි. මේ ඔහුගේ අදහසයි:
“අපට තියෙන්නෙ ලොකු වගකීමක්, දුම්රිය පාරෙ පොඩි හරි වෙනසක් වුණොත් දුම්රිය ධාවනය කරන්න බැහැ. උඩරට දුම්රිය පීලි පැන්නොත් පීලි පනින ස්ථානවල හැටියට සිදු වන විනාශය ගැන හිතා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. මම පට්ටිපොළට ඇවිත් අවුරුදු අටක් වෙනවා. අපට පුළුවන් උපරිම රාජකාරිය කරනවා. මේ වගේ සිදුවීම් රැසක් මගේ රාජකාරි කාලය තුළ මම අත්දැකලා තියෙනවා. අපි කරන්නෙ තිරෙන් පිටුපස චරිතයක්.”
රාජකාරිය වෙනම කතාවකි. එහෙත් සිදු වීමට ගිය මහා දුම්රිය අනතුරක් වළක්වාගත් ඒ ක්‍රියාව අගය කළ යුතුමය.
විශේෂයෙන්ම මේ වන විට පසුගිය සතිය ආරම්භ වන විට ලොව පුරා සංචාරකයන් විශාල ලෙස ශ්‍රී ලංකාවට ඇදී එන තත්ත්වයකට හා ඔවුන් උඩරට දුම්රියේ ගමන් කිරීම විශාල භාග්‍යයක් ලෙස සලකන තත්ත්වයකට පත් විය. ඒ ලොව පුරා සංචාරකයන්ට මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් කොළඹ – බදුල්ල දුම්රිය ගමන 2025 වසර සඳහා ලොව හොඳම 7 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත කර තිබීමත්.
මේ පිළිගැනීම, මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එය සංචාරකයන්ට ලබාදෙන විශිෂ්ට සංස්කෘතික අත්දැකීම ඉස්මතු කරන්නක් බවද එහි සඳහන් විය.
එසේ ලෝකයේම සංචාරකයන්ට තෝතැන්නක් වන උඩරට දුම්රිය මාර්ගයේ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කරන්නේ නම් එය වඩාත් වටනේය. ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් තීරණ ගැනීමට හැකියාවක් නැත. ජාතික සැලැස්මක් ඒ වෙනුවෙන් අවශ්‍ය වනු ඇත. ඒ ‘අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම පලක් නොවන බව ’ ද අවසන් වශයෙන් පැවසිය යුතුය.