Press "Enter" to skip to content

රට තුළ ඇති පෙට‍්‍රල් සහ ඩීසල් ප‍්‍රමාණය හා ප‍්‍රමාණවත් දින ගණන මෙන්න..

රට අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවේ රට වෙනුවෙන් කලයුත්තේ දේශපාල වාසි ලබාගැනීම නොව රට ‌‌ බේරා ගැනීමට කටයුතු කිරීම බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිණි.

බලශක්ති අමාත්‍යවරයා ඒහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය

1978 සිටම අපනයන ආදායම ඉක්මවා ආනයන වියදමක් දැරීමත් දැවැන්ත ලෙස විදේශ ණය ලබා ගැනීමත් හේතුවෙන් වර්තමාන විදේශ විනිමය අර්බුදය ඇති වී තිබේ . එබැවින් මෙම ප්‍රශ්නය අසන විපක්ෂ නායකතුමාගේ ආණ්ඩු ද ඇතුළුව 1978 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වත්මන් විදේශ විනිමය අර්බුදයට දායක වී ඇති බැවින් ඒ සෑම අයෙක්ම මේ අර්බුදයට වගකිව යුතුයි .

මා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය 2019 /12/31 දිනට සකස්කළ ශේෂ පත්‍රය අනුව පරීක්ෂා කළෙමි. ඊට අනුව එදිනට ඛනිජ තෙල් ආනයනය සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගත් ණය සහ ණයවර ලිපි බැඳීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3100 ක් පමණ ගෙවිය යුතු බව නිරීක්ෂණය වූ අතර මෙම තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම රටේ ඉන්ධන සුරක්ෂිතතාවය මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකු දෙකෙහි තිරසර පැවැත්මට තර්ජනයක් විය හැකි බවට නිරීක්ෂණය කළෙමි. ඒ අනුව 2020 වර්ෂය ආරම්භයේදීම රාජ්‍ය බැංකු දෙකට පවත්නා මෙම ණය ප්‍රමාණයන් ප්‍රතිමූලනය කිරීමේ පහසුකමක් සලසා ගැනීම කෙරෙහි අවධානය යොමු කළෙමි.

මා අමාත්‍යවරයා ලෙස ගත කළ මාස 18 විදේශ විනිමය අර්බුදයේ උග්‍රතම අවස්ථාව වුවද වර්තමානයේ ද රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය 2019. 12. 31 දිනට සාපේක්ෂව වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 256 කිනි . ඒ අතර ඩොලර් මිලියන 611 ක් වටිනා රුපියල් බැංකු දෙකට ගෙවා ඩොලර් හිඟය හේතුවෙන් ඩොලර් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකිව බැංකු සතුව පවතී . එම මුදල ද අඩු කළ විට බැංකුවලට ඇති වගකීම ඩොලර් මිලියන 2745 දක්වා පහත වැටී ඇත .ඒ අනුව මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබියදී විපක්ෂනායකතුමාගේ ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 3100 දක්වා ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවේ රාජ්‍ය බැංකු වෙනුවෙන් ණය ඩොලර් මිලියන 355 කින් පහත දැමීමට කටයුතු කර ඇත .

විදේශ විනිමය ඉපයීම් සහ වියදම් අතර දිගු කාලයක් පුරා පවත්වාගෙන පැමිණි පරතරය තවදුරටත් බැරෑරුම් වීමට පාස්කු ප්‍රහාරයත් පාස්කු ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට එල්ල වූ දැඩි බලපෑම වියැකී යාමට මත්තෙන් 2020 වසරේ මුල සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වී මුළු රටම වෙළාගත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය ද හේතු විය . සංචාරක ව්‍යාපාරයෙන් වසරකට උපයාගත හැකිව තිබූ ඇමරිකන් ඩොලර් බිලියන 4 ක ප්‍රමාණය මෙරටට අහිමි වූ අතර විදේශයන්හි සේවය කරන ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ ද රැකියා අහිමි වීම හේතුවෙන් ඔවුන් එවන ප්‍රේෂණයන්ද පසුගිය වසර දෙක තුළ බරපතළ ලෙස පහත වැටිණි .විශේෂයෙන් සමස්ථ ආනයන වියදමෙන් සියයට විස්සකට වැඩි ප්‍රතිශතයක් අත්කරගන්නා ඛණිජ තෙල් ආනයනය කෙරෙහි උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය සෘජුවම බලපෑම් කරන ලදී . රට තුළ විදේශ විනිමය අර්බුදය උග්‍ර වත්ම සැපයුම්කරුවන් ලන්සු සඳහා සහභාගි වීම ද සීමා විය .මීට පෙර මාස නමයක් සහ මාස හයක් වැනි දිගු කාලයකින් මුදල් ගෙවීමේ පදනම මත ඛනිජ තෙල් සැපයු සැපයුම්කරුවන් මේ වන විට ඉල්ලා සිටින ගෙවීම් කොන්දේසිය වනුයේ පූර්ව ගෙවීම් කොන්දේසියයි . මෙම තත්ත්වය මත විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සැලසුම් දිනයන්ට හෝ ඉන් පෙර සිදුවීම වර්තමාන තත්ත්වය මේ ලෙස උග්‍ර වීමට හේතු වී ඇත .

පෙට්‍රල් 92 දින දහයකටත් පෙට්‍රල් 95 දින හතළිහකටත් . ලංකා ඔටෝ ඩීසල් දින අටකටත් සුපර් ඩීසල් දින අටකටත් මේ මොහොතේ තොග පවතිනවා . ඉදිරියේදී තොග ලැබීමට නියමිතයි.

දැනට ගොඩ බාමින් පවතින ඩීසල් තොගයෙන් විදුලිබල මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 6000. sojitz බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 4200 ක් ද වශයෙන් දින හයක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවර ගෙන ඇත. තවද දැවි තෙල් සඳහා ප්‍රදානය කර ඇති ටෙන්ඩර් එකට අනුව මෙට්‍රික් ටොන් 30000 දැවි තෙල් තොගයක් මාර්තු මස තුන්වන දින ලැබීමට නියමිතය . නියමිත දිනට ණයවර ලිපි විවෘත කළහොත් දැවි තෙල් බලාගාරය සඳහා මාර්තු මාසය තුළ අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකිවේ. මීට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෛනික දැවි තෙල් මෙට්‍රික් ටොන් 900 නිෂ්පාදනය වේ.

ඉදිරි මාස තුන සදහා අපිට ඇමරිකන් ඩොලර් මිලියන 1285.50 අවශ්‍ය වෙනවා ඉන්ධන ආනයනය කරන්න.ඒත් අපි මාස හයට ම පුරොකතනය කරල තියනවා. එයින් ඩොලර් බිලියන 500ක් අපි ඉන්දියානු ණය පහසුකම යටතේ ලබා ලබාගන්න බලාපොරොත්තු වෙනවා . අනෙකුත් ණය වෙනත් මූලාශ්‍ර ගණනාවක් මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා . ඒවා අවසානය නිගමනයන්ට පැමිණියාට පසු පාර්ලිමේන්තුව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙතුමා පූර්විකාවක් කරලයි මේ ප්‍රශ්න නැගුවේ. ඒ පූර්විකාව ට පිළිතුරු ලබාදිය යුතුයි. මා ඊයෙ අනාවැකියක්අනාවැකියක් සඳහන් කළාළා අද දවසේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 100 ඉක්මවා යාවි කියලා. අපි මේ කතා කරන මොහොතේ මිල බැලුවොත් ඩොලර් එකසිය එකයි සත හතළිස් එකයි . අඛණ්ඩ මිල ඉහළ යෑමක් සිදු වෙනවා .

ඇත්තෙන්ම මෙතුමා සඳහන් කළ ඖෂධ හිඟයක් තියෙනවා කියලා . ගෑස් හිඟයක් ගැන කතා කළා. ඒ වගේම විදුලි කැපීම ගැන කතා කළා.

මම ඊයේ පැහැදිලි කළ ආකාරයට මේ සියල්ලේ මුල දුකක් තියෙද්දි දුකට හේතුව හොයන්න ඕන. හේතුවට ප්‍රතිකාර කරන්න ඕනේ දුකට නෙවෙයි . දුකට හේතුව විදේශ විනිමය අර්බුදය. එහෙනම් විපක්ෂ නායකතුමා ප්‍රශ්නය සිය යුත්තේ විපක්ෂ නායකතුමා විවාදයක් ඉල්ලිය යුත්තේ මේ විදේශ විනිමය අර්බුදයෙන් ජාතියක් ලෙස අපි හැමෝම ගොඩ යන්නේ කොහොමද කියන එක කතා කරන්න . මෙතන අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා. අපි හැමදාමත් ඒ අර්බුදය ගැන ජනතාවට දිගින් දිගටම ප්‍රකාශ කරලා තියනවා . වසරකට වැඩි කාලයක් තිස්සේ මේ විදේශ විනිමය අර්බුදයක් එනවා කියන එක අනතුරු අගවල තියෙනවා. එතකොට දැන් මේක රටේ ප්‍රශ්නයක් මිස ආන්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි . එහෙම නම් විපක්ෂනායක තුමනි අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සටන් පාඨ තියන පුවරුව ඔසවලා මොන්ටිසෝරි වැඩ කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ . මම අගය කරනවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පරිණත නායකයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ විසඳුම් ගැන කතා කළා . ඒ වගේම මාත් සමග විරසක වෙලා හිටියත් අද හුදකලා වෙලා හිටියත් චම්පික රණවක ඇමතිතුමා එතුමාට පුළුවන් මට්ටමෙන් විසඳුමක් සමාජයට ඉදිරිපත් කරල තියනව.

මේ ආණ්ඩුව කරන දේ වැරදි නම් කළ යුත්තේ මොකක්ද කියලා අපිට කියන්න. අපි වැරැද්දක් කරනවා නම් වැරැද්ද පිළි අරගෙන හදාගන්න පුළුවන් වෙනවා. වැටුණොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව නෙමෙයි අපි හැමෝටම තියෙන අපේ ආදරණීය මව්බිම කියන එක අපි හැමෝම සිහිය තියාගන්න වෙනවා .

ඒ වගේම ගරු කථානායකතුමනි එතුමා සිහිපත් කළා විස්සේ බලතල පාවිච්චි කරලා මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. ඔබතුමාගේ ඉල්ලීම තුළ ගැබ්වෙලා තියෙන්නෙ විපක්ෂ නායක තුමනි ප්‍රශ්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ විස්සෙන් කරන්න පුළුවන් මොකක්ද කියලා දන්නෙත් නෑ කියලා , බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකතුමා කියන්නේ the prime minister in waiting . අනාගත නායකතුමා . අනාගත අගමැති තුමා . එවැනි නායකයෙක් ගෙන් අපි මෙවැනි ප්‍රකාශ මෙවැනි නොදැනුවත්භාවයක් බලාපොරොත්තු වෙන්නේ නැති බව කණගාටුවෙන් කියන්න ඕන . අපි ඉන්නේ අර්බුදයක ගරු විපක්ෂ නායකතුමනි. අපි හැමෝම අපේ රටට ආදරෙයි නම් මේකෙ දේශපාලන වාසිය ඔබතුමාලා ආණ්ඩුව කරන්නත් අපි ආණ්ඩු කරන්නත් රටක් ඉතුරු වෙන්න ඕන . මේ රට බේරගන්න වැඩේ අපි කතා කරමු.

එතුමා මගෙන් ඇහුවා අර ඉන්දියාවෙන් ආපු නැව පිළිගන්න නැවට නැග්ගේ ඇයි කියලා.ඔන්න එතුමාට තියෙන ප්‍රශ්න. මේ රට ගිනි ගන්නවා රටේ විපක්ෂ නායක තුමාට තියෙන ප්‍රශ්නේ . මං ඒකටත් උත්තරයක් දෙන්නම්. මටනම් ඒ නැවට යන්න කිසි උවමනාවක් තිබ්බෙ නෑ . ඉන්දියාව අපිට ඩොලර් මිලියන 500ක් දෙනවා ගරු විපක්ෂනායක තුමනි 2.5% පොලියට වසරකින් ආපහු ගෙවන්න තෙල් ආනයනය කරන්න .

ඉන්දියානු මහා කොමසාරිස් තුමාට ඕන වුණා මේ නැව එනකොට මාත් එක්ක ඒ නැවට ගිහිල්ලා නැව පිළිගන්න. ඔබතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔබතුමා සසුනට අරුණ කියලා පන්සලට රුපියල් 50,000ක් චෙක් පත දෙනකොට ඒක රූපවාහිනියෙන් පල කරගන්න උවමනා වෙන්නේ චෙක් පත ලබාගන්න ස්වාමීන්වහන්සේට නෙමෙයි ඔබතුමාට. හම්බන්තොට ඈත ගමක දුප්පත් පවුලකට සෙවිලිතහඩු පහක් ඔබතුමා භාර දෙන කොට ඒකෙ ඡායාරූපයක් ගහලා පත්තරේ දාගන්න ඕන වෙන්නේ ලබන දුප්පත් කෙනාට නෙමෙයි දෙන ඔබතුමාට .තෙල් නැව භාරදීමේ සිද්ධියත් අන්න ඒ වගේමයි .

ගරු කතානායකතුමනි, ව්පක්ෂ නායක තුමා ගාව ඉන්න කාර්යමණ්ඩලය එතුමාව රවට්ටනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා කාලාම සූත්‍රයේ ගරු විපක්ෂනායක තුමනි කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා . සොයා බලා සත්‍යයි කියලා ඒත්තු ගියොත් පමණක් විශ්වාස කරන්න . මං තාමත් විශ්වාස කරනවා අපේ විපක්ෂ නායකතුමා බෞද්ධයෙක් කියලා . එනිසා ඔබතුමාට මං කියන්න ඕනේ මම කවදාක්වත් මෝඩි අගමැතිතුමා එනකොට කළු කොඩි එසෙව්වෙ නෑ . සිද්ද උනේ තමුන්නාන්සේලාගේ කලින් ආණ්ඩුව 2016 ජනවාරි අටවැනිදා අවුරුද්දක් පිරුනම මම කිව්ව රටේ කළු කොඩි ඔසවලා ආන්ඩුවේ පලවෙනි වසර සැමරීමට විරුද්ධ වෙන්න කියලා .මම ඒ අවස්ථාවේ කළු කොඩිය මගේ වාහනය ගහනවා ගෙදර ගහන ඡායාරූප ටික සමාජ ජාලවල තිබුණා. තමුන්නාන්සේගේ සමාජ මාධ්‍ය ජාලා කරන අය මේ ඡායාරූප අරගෙන මෝඩි එද්දී කළු කොඩි දාපු අය තෙල් නැව බාරගන්න යනවයි කියලා බොරු ප්‍රචාරයක් යැව්වා .අනේ සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමා ගේම බොරුවට ඔබතුමා ම රැවටිලා . ගොබෙල්ස් වරක් කිව්වා එකම බොරුව සිය වරක් පවසන විට බොරුව අසන්නා මෙන්ම බොරුව කියන්නාද සත්‍යයක් ලෙස විශ්වාස කරනු ඇත කියලා .ගොබෙල්ස් කියූ දෙයයි ඔබතුමාට සිද්ද වෙලා තියෙන්නෙ. ඔබේම බොරුවට ඔබ ම රැවටිලා යි කියලයි මට විපක්ෂ නායක තුමාට කියන්න සිද්ද වෙන්නෙ. හොඳට හොයලා බලන්න ඔය කළු කොඩි එසෙව්වේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාට නෙමෙයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුවට වසරක් පිරිච්චි දවසේ .

– media unit

More from GossipMore posts in Gossip »