අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ප්‍රංශ වැසියෝ අපූරු ක්‍රමයක් භාවිත කරති. එනම් භාවිතයට නොගන්නා මෝටර් රථ ගිනි තැබීමයි. මෙවරද මෙම සම්ප්රදාය ක්‍රියාවට නංවා ඇති අතර මෝටර් රථ 875ක් පමණ ගිනි තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුගිය වසරේ පැවැති අගුළුලෑම් නිසා මෙම සම්ප්රදාය ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ වැසියන්ට හැකි වූයේ නැත. 2019 වසරේ මේ ආකාරයෙන් මෝටර් රථ 1,316ක් ගිනි තබා තිබිණි.
ගිනි තැබූ මෝටර් රථ ගණන මෙවර අඩු වී ඇත්තේ ප්‍රංශය තුළ මේ වනවිට දැඩි සෞඛ්‍ය සීමාවන් ක්‍රියාත්මක වන නිසාය. එරට තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අන් කවරදාටත් වඩා ඉහළ ගොස් තිබේ. වාහන ගිනි තැබීමේ සිරිත ආරම්භ වී තිබුණේ නවසිය අනූව දශකයේ බව සඳහන් වේ.
මේ ආකාරයෙන් එකවර වාහන විශාල සංඛ්‍යාවක් ගිනි තැබීම ප්‍රංශය තුළ විරෝධතා දැක්වීමේ ක්‍රමයක් ලෙසද භාවිත වී තිබිණි. ඒ 2005 වසරේ එරට නිවාස යෝජනා ක්‍රම තුළ හටගත් විරෝධතාවකදීය. එම අවස්ථාවේ සති තුනකටත් අඩු කාලයක් තුළ වාහන 9,000කට ආසන්න සංඛ්‍යාවක් ගිනි තබා තිබිණි.






