මේ දිනවල කාන්තාවන් අතරේ ඇය බොහෝ සෙයින් ජනප්‍රියයි. සමහර පිරිමින්ට ඇය දැක්කාම ඇති වෙන්නේ බයක්. මොකද පිරිමියෙක්ටවත් මෙල්ල නැති චණ්ඩිකමක් ඇය තුළින් පෙන්නුම් කරන නිසා. ධරණි ටෙලි නාට්‍යයේ විනුලිව හොයාගෙන ගියේ සොඳුරු කතාබහකට මුල පුරන්නයි.ඩිලුෂි හංසිකා පාසල් කාලයෙන්ම කතාව පටන් ගත්තා.
මම අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඉස්කෝලේ යන දවස්වලත් ඩ්‍රාමා, ඩාන්සින්, කථික තරග වගේ දේවල්වලට ඉදිරිපත් වුණා. මේ නිසා ඉස්කෝලේ ගුරුවරු අතර වගේම ළමයි අතරත් දන්න හඳුනන චරිතයක් බවට පත්වෙන්න වාසනාව ලැබුණා.
පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි. ඒ දෙන්නා තාමත් ඉගෙන ගන්නවා. මගේ කලා කටයුතුවලට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. කොහොමටත් මේ ඉන්න තැනට එන්න මගේ රූපයත් ලොකු ශක්තියක් වුණා.

දෙදහස් විස්ස අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා තුන්වැනි ස්ථානය දිනා ගැනීමත් සමග තමයි ජීවිතේ වෙනස් වෙන්න අරගත්තේ. ධරණි නාට්‍යයේ තරුමිනිගේ චරිතය රඟපාන හේෂානි ලියදිපිටියව මුණගැහෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරගයේදීම තමයි. ඇය තමයි ඒ තරගය ජයග්‍රහණය කළේ.
පුංචි කාලේ ඉඳන්ම කැමැත්ත තිබුණේ නීතිඥවරියක් වෙන්න. කොහොම හරි හොඳින් අධ්‍යාපන කටයුතු නිමා කරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල මම ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා. හොඳ රැකියාවක් කරන එක තමා මගේ එකම බලාපොරොත්තුව.
ධරණි නාට්‍යය සඳහා ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා ආරාධනා ලැබුණා. එදා තමා ජානක සර්ලා හඳුනා ගත්තේ. ලක්සිරි සර්, ශ්‍රියන්ත ප්‍රසාද් හා නිදුෂත් මධුෂිත යන අයගෙන් ලැබෙන සහයෝගය මෙතෙකැයි කියන්න බැහැ. මගේ පළමුවැනි නිර්මාණයෙම ප්‍රවීණයන් සමග වැඩ කටයුතු කරන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.

ෂූටින් ගිය මුල්ම දවසේ මම රඟපාපු පළමුවැනි දර්ශනයම රූපගත කළා. එදා රඟපෑවේ පුංචි කොටසක් වුණත් මට දැනුණේ කල්ප කාලාන්තරයක් ගතවුණා වගේ හැඟීමක්. මුළුතැන්ගෙට ඇවිත් අක්කයි, දිනුෂ අයියයි දිහා බලලා හැරිලා යන්නයි මට තිබුණේ. මුල්ම දවසේ රඟපෑවේ පුංචි කොටසක් වුණාට එදා රෑ වෙනකම් ඉන්න සිද්ධ වුණා. එදා අප්පච්චි මට නොරිස්සුමට වගේ කිව්වේ ‘පේනවා නේද’ කියලා. මම මොකුත්ම නොකියා උන්නේ බාරගත්තු වැඩේ උපරිම හොඳට කරනවා කියන අධිෂ්ඨානයෙන්මයි.
පුංචි දර්ශනයකින් කලා ගමන ආරම්භ වුණත් ඉතා ඉක්මනින්ම ධරණි ප්‍රේක්ෂකයන් අතරට ගියා. කෙල්ලෝ දෙන්නෙක්ගේ චණ්ඩිකම්වලට තමා වැඩේ අල්ලලා ගියේ.
නාට්‍යය පුරාම මට සටන් කරන්න තියෙනවා. මුලදි නම් සටන් කලාව ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. හැබැයි පුහුණු කරනකොට ඉක්මනින් වැඩේ අල්ල ගන්න පුළුවන්කම තිබුණා. විනාඩි දෙක තුනක සටන් ජවනිකාවක් වෙනුවෙන් මුළු දවසක්ම පුහුණුවීම් කරන්න වෙනවා. පළමු සටන් දර්ශනය රැයවල් දෙකක් රූපගත කරන්න සිද්ධ වුණා. මොකද අධ්‍යක්ෂතුමාට තාත්වික ආකාරයට ඒ සටන් දර්ශන අවශ්‍ය වුණා.
තාත්වික ආකාරයට සටන් ජවනිකා කරන්න ගිහින් සෑහෙන අනතුරුවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහර වෙලාවට දවස් ගණන් කොන්දෙ වේදනාව තියෙනවා. අතපය තුවාල වෙනවා. දැන් නම් ඒ දේවල්වලට හොඳටම පුරුදු වෙලා තියෙන්නේ. සමහර දර්ශනවලදි ගැටුම පටන් ගත්තාම හයියෙන්ම ගහන්න කියනවා. ඒ වෙලාවට ඉතින් රිදෙන්න ගහනවා. තාත්විකව රිදෙන්න පහරදෙනකොට ඒ දර්ශනය සාර්ථකව රූගත කරගන්න පුළුවන් කියලා තමයි අධ්‍යක්ෂතුමා කියන්නේ.

ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. පාරේ යනකොට පිරිමි අය නම් එක එක කතා කියනවා. ළඟින් යනකොට ‘ගහයිද දන්නෙත් නැහැ’ කියලා හෙමිහිට කියනවා.සමහරු කියනවා ධරණි එකේ ගහගන්න කෙල්ල නේද කියලා. තවත් අය කතා කරන්නත් බයයි. යකෙක් දිහා බලනවා වගේ බලන්නේ. හැබැයි කතා කරලා හිතවත් වුණාම බොහොම ළෙන්ගතු වෙනවා. ගොඩක් පිරිමි ළමයි හිතාගෙන ඉන්නේ මම වස දරුණු කෙනෙක් කියලා.
කොහොම වුණත් සමාජයේ හැම කාන්තාවකටම ධරණි නාට්‍යය තුළින් ලොකු ආදර්ශයක් ලබාදෙනවා. කාන්තාවක් කියලා නිහඬව ඉන්න ඕන නැහැ. ඇයටත් පිරිමින්ට වගේ සමාජයේ කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මම හැම ගැහැනු ළමයෙක්ටම කියන්නේ තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කලාව ප්‍රගුණ කළාට කමක් නැහැ. අද සමාජයේ යුවතියකට ඒක ගොඩක් වටිනවා. සටන් කලාව ඉගෙන ගන්නේ හැම දේකටම ගහගන්න නෙවේ. බස් එකේදි කාන්තාවකට ප්‍රශ්නයක් වුණොත් සද්ද නැතිව ඉන්න එපා. ඔරවලා හරි බලන්න ඕන. මම මේ නාට්‍යය තුළින් මගේ ජීවිතයට ඒ පන්නරය ලබාගත්තා.
මගේ පෞද්ගලික ජීවිතේට බොහොම ගෞරව කරමින් සරලව පැත්තකට වෙලා ජීවත්වෙන චරිතයක්. ෆේස්බුක් ගිණුමක් මම හදාගත්තේ ගිය අවුරුද්දේ. ඒකත් කළේ මේ නාට්‍යයෙ රඟපාන නිසා. මොකද ෆේස්බුක්වල අනවශ්‍ය දේවල් ඕන නැති විදිහට ඇදගෙන යනවා. කැත විදිහට පින්තූර ෂෙයා කරනවා. කොටින්ම මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරනවා. ඒ දේවල් හරි විදිහට භාවිත කළොත් ප්‍රයෝජනවත් කියලා මම විශ්වාස කරනවා.

මේ හැම දෙයක්ම මැද්දේ මම බොහොම සතුටින් ජීවත් වෙනවා. සමහරු කියනවා චණ්ඩි කෙල්ලන්ට ආදරය කරන්න බැහැ කියලා. එහෙම එකක් මම විශ්වාස කරන්නේ නැහැ. කාලෙකට ඉහත මම ප්‍රේමවන්තියක් වෙලා උන්නා. නමුත් යම් යම් සිදුවීම් නිසා ඒවා අතීතයේ මතක සටහන් බවට පත්වෙලා තියෙන්නේ. දැන් නම් ආදරයට යොමු වෙන්න තරම් කැමැත්තක් නැහැ.
ආදරය ගැන විරහවෙන් හා වේදනාවෙන් නෙවේ කතා කරන්නේ. අහිමි වෙච්ච ආදරය ගැන දුකක් නැහැ. නමුත් ජීවිතේට හරි කෙනාව මුණගැහෙන්න නම් වැරදි අය ජීවිතයෙන් පිටවිය යුතුයි. මම විශ්වාස කරනවා හරි කෙනා ඉක්මනින්ම මුණගැහේවි කියලා. ඒ වෙනකම් මට මගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්.
ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පසුබිම ධරණි නාට්‍යය හරහා නිර්මාණය වුණා. තවත් නාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණා. නමුත් මුල්ම නාට්‍යයට මුල්තැන දීලා වැඩ කරන්න තීරණය කළා. ධරණි නිමා වුණාට පස්සේ අලුත් නිර්මාණයකට හිත යොදවන්න තමයි තීරණය කරලා තියෙන්නේ.

නිදහසේ ගෙදර ඉන්න වෙලාවට හොඳට නිදාගන්න කැමතියි. හැබැයි විභාගවලට පාඩම් කරන්නත් කාලය වෙන් කරගෙන තියෙන්නේ. මොකද, මොන දේ නැතත් අධ්‍යාපනය කියන කඩඉම ජයගන්න ඕන කියන විශ්වාසය තදින්ම මගේ හිතේ තියෙනවා. සමහරු ඉගෙන ගන්න කාලේ රංගනයට ඇවිත් යහමින් මුදල් ලැබෙනකොට ඉගෙනීම අත්හැරලා දානවා. මම එහෙම මුදල් පස්සේ යන්නේ නැහැ. ලැබෙන මුදලෙන් තෘප්තිමත් වෙන ගමන් ඉගෙන ගන්න කටයුතුත් හරියටම කරනවා.
මොන දේ ලැබුණත් නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තරම් සතුටක් නැහැ. මම කැම්පස් යන්නේ ස්කූටි බයික් එකෙන්. සමහර දවස්වලට කඩවතට හයිවේ බස් එකේ ඇවිත් කැලණියට යනවා. මහ පාරේ ඉන්නකොට බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තුළින් අපේ ජීවිතේ බොහෝ දේවල් හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් වෙලාවට ගෙදරට වෙලා ඉන්න කැමතියි.
මල්ලිලා දෙන්නා තමයි හැම වෙලාවෙම මාව බයිට් කරන්නේ. මම රඟපානකොට හොඳම කමෙන්ට් එක දෙන්නේ ඒ දෙන්නා. විශේෂයෙන්ම දිනුෂ අයියත් එක්ක මල් සීන් රඟපානකොට මට මාර ලැජ්ජයි. මොකද මම එහෙම මල් සීන්වල නැති නිසා. ෆෝන් එකෙන් ආදර කතා කියනකොට මට හිනා යනවා. ඒ වෙලාවට දෙතුන් පාරක් රූපගත කිරීම් කරන්න වෙනවා. මේ වගේ දේවල් අල්ලගෙන තමයි අපේ යාළුවෝ මාව පල් කරන්නේ. ඇත්තටම ආදර ජවනිකාවලට පෙනී ඉන්න එක තමා මට අමාරුම.

සමස්තයක් හැටියට ගත්තාම ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනසට මම හුඟක් ආදරෙයි. සටන් කරන්න කිසිම හැකියාවක් නොතිබුණු මම මාස ගාණක් ඇතුළත බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් සටන් කලාව ගැන හොඳ දැනුමක් තියෙනවා. මගේම කියලා හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ අය තමා මාව මේ ආකාරයට ධෛර්යමත් කරන්නේ. කොටින්ම ඒ යාළුවෝ සෙට් එක මා වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. කැම්පස් එක ඇතුළෙන් ලැබෙන සහාය හරිම වටිනවා. කිසිම කෙනෙක් මාව පහළට දාන්න උත්සාහ කළේ නැහැ. හැමෝම එක්ක හොඳින් ඉන්න නිසා සියලුම දෙනාගේ ආදරය ජීවිතයට නොඅඩුව ලැබෙනවා. හැම අතින්ම මම සීයට සීයක්ම වාසනාවන්ත යුවතියක් කියලා හිතනවා.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර






