Press "Enter" to skip to content

ඉන්දියාව ඇෆ්ගනිස්තාන තරගය මිලට ගත්තාද?

‘ඔබ මුලින් පන්දු යවන්න’

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට වැදගත් තරගයක් වූ ඇෆ්ගනිස්තානය සමගින් පැවති තරගය මුදලට පාවාදුන් තරගයක් දැයි යන්න ලොව පුරා සමාජ මාධ්‍ය වල කතා බහට ලක්ව තිබේ.

ඒ එම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී කාසියේ වාසිය පරාද වූ ඉන්දීය නායක විරාට් කෝලි පැවසූ යම් වදන් පෙළක් වීඩියෝවක සටහන් වීම හේතුවෙනි. එම වීඩියෝවට අනුව කාසිය වාසිය පරාජය වූ කෝලි, ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබී හට ‘ඔබ මුලින් පන්දු යවන්න’ යැයි කියන අයුරේ වදන් පෙළක් ඇසෙයි. ඒ සැණින් නබී ද ප්‍රථමයෙන් පන්දු යැවීමට තමා සූදානම් බව කියා සිටියේය.

මෙය නිසැකවම තරග පාවාදීමක් ලෙසින් සඳහන් කරන්නට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තා වී නොමැත. නමුත් ලොව පුරා සමාජ මාධ්‍ය මෙම තරගයේ ක්‍රීඩා විලාසය යම් සැක සහිත බවට වාර්තා කර තිබුණු අතර ඒ සඳහා තරගයේ වූ සිදුවීම් කිහිපයක්ම උපුටා දක්වා තිබිණි.

ලෝක කුසලාන සුපිරි 12 වටයේ සිට පළමුවෙන් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වූ පාකිස්තානයට තියුණු තරගයක් දුන් ඇෆ්ගනිස්තානය හමුවේ ඉන්දියාවේ තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම විශ්මයජනක බවද වාර්තා කර තිබුණි.

මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් එම තරගයේ පන්දු රැකීම අතින්ද දුර්වල බවක් පෙනුණු අතර විශ්මය දනවන ලෙසින් හතරේ සීමාව අසලින් පන්දු කිහිපයක්ම මග හැරී බවද සඳහන් කර තිබුණි.

සමාජ මාධ්‍යයේ පලවන ඇතැම් වාර්තා වලට අනුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් පසුගිය තරගයේදී ක්‍රිකට් දිවියෙන් සමුගැනීමටද මෙම සිද්ධියේ සම්බන්ධයක් ඇති බවටද සඳහන් වී තිබිණි.

අවසන් පූර්ව වටයට තේරී පත්වීමට නම් තරග දෙකක් පරාජය වී සිටින ඉන්දියාවට මෙම ඇෆ්ගනිස්තානය තරගය ඉහළින්ම ජයගැනීමේ ඉහළ වැදගත්කමක් විය.

කෙසේ නමුත් මෙම තරගයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් හෝ සමස්ත තරගයේ ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් මේ දක්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට කිසිදු පැමිණිල්ලක් නිකුත් වී නොමැත. මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඩේවිඩ් ගවර් මෙය එතරම් ගණන් ගත යුත්තක් නොවන බවද පවසා තිබිණි.