මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ඉතා හොඳින් ලකුණු රැස්කිරීම සිදු කර තිබෙන බැවින් පවර්ප්ලේ අවස්ථාවේදී ඔවුන්ට පීඩනය යොමු කරමින් කඩුලු ලබා ගත යුතු බව යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අදහසයි. ඔහු මේ බව ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමගින් මාධ්‍ය හමුවකට එක් වූ පැතුම් නිශ්ශංක කියා සිටියේ පවර්ප්ලේ අවස්ථාවේදී කුසල් සමග එක්ව හැකි තරම් ලකුණු රැස් කරන්න උත්සාහ දරන බවයි. එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160ක් පමණ රැස් කිරීමේ සැලසුමකින් පිටියට පිවිසි බවටද පැතුම් පැවසීය. එසේම එම තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යැවීම ළහිරු කුමාරට භාරදීම ද ඔහු විසින් සාධාරණීකරණය කරන ලදී.
සිය පන්දුවාර 03 ලකුණු 17ක් තුළ අවසන් කර තිබියදී ඒ මොහොතේ ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවාරය යැවීමට සුදුසුම පන්දු යවන්නා ළහිරු කුමාර වූ බව පැතුම් පැවසීය. ‘දකුණු අප්‍රිකා තරගය පරාජය වීම ගැන කණ්ඩායමම කනගාටුවෙන් ඉන්නේ. නමුත් ක්‍රිකට් කියන්නේ ඕක තමයි. බංග්ලාදේශය සමග පැවැති තණතීරුවට වඩා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ තණතීරුව තරමක් වෙනස් එකක්. ඒ නිසා තමයි අවසන් පන්දුවාරය දක්වා තරගය ගියේ’ යැයි පැතුම් වැඩිදුරටත් කීවේය