Press "Enter" to skip to content

කොරෝනා පාලනය ගිලිහෙමින්.. භයානක පොකුරු ඇතිවේවි – විශේෂඥ වෛද්‍යවරුන් දන්වති

කොවිඩ් -19 සීමා ලිහිල් කිරීම සහ නැවත භයානක පොකුරු ඇතිවීමේ අවදානම

කොවිඩ්-19 වෛරසයට එරෙහිව දිගුකාලීන සටනකින් පසු තරමක් දුරට හෝ නිදහසේ ගමන් කිරීමට හා සමාජශීලී වීමට ඇති හැකියාව වැඩි වෙමින් පවතින බව අපට යන්තමින් හැඟෙන්නට පටන් අරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කෝවිඩ් මර්දනයේ නියුතුව සිටි සියලුම වෘත්තිකයන් හා සමාජ සංවිධාන වලට අපගේ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

කෙසේ වුවද, පොදු සමාජයේ යම් කොටස් වල ඇති අනවබෝධය සහ සමාජ වගකීම් විරහිත හැසිරීම මගින් කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බව අපට පෙනී යයි.

මෙවැනි සමාජීය වගකීම් විරහිත හැසිරීම් මගින් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අප ලබා ඇති ජයග්‍රහණයන් අප අතින් ගිලිහී යාම මෙන්ම මෙමගින් සමාජයේ වැඩි කොටසකට මෙවැනි වගකීම් විරහිත ලිහිල්  හැසිරීමකට අතවැනීමක් මෙන්ම අනුබලදීමක්ද වනු ඇති බව අපගේ හැඟීමයි. මෙවැනි වගකීම් විරහිත හැසිරීම් මගින් නව කොවිඩ්  පොකුරක් සෑදීමේ හැකියාව ඉතා වැඩි බවත්,  එසේ වුවහොත් එය අප මෙතෙක් ලැබූ ජයග්‍රහණ වල අවසානයේ ආරම්භය වීමට ද ඉඩ ඇති බවත් අප තරයේ වටහාගත යුතුයි.

අප රටේ කොවිඩ් මර්දනයට දැඩි ලෙස දායක වුනු වගකිය යුතු වෘත්තීය සංවිධානයක් ලෙස රජය විසින් පනවා ඇති පළාත් අතර සංචරණ සීමා තවදුරටත්  පවත්වාගෙන යෑම අප දැඩි ලෙස අනුමත කරන අතර, සමාජයේ සියලුම පුරවැසියන් හට අප යළිත් අවධාරණය කරන්නේ දේශපාලනික, ආගමික හෝ අනිකුත් මතභේද අමතක කර මේ මොහොතේදී වගකීමෙන් කටයුතු කරමින් අප සියලු දෙනා එකා ලෙස අත්වැල් බැඳගෙන මෙම වසංගතය අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට වගකීමෙන් එක්වන ලෙසයි.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය