Press "Enter" to skip to content

ද. අප්‍රිකානු වයිරසය ලංකාවටත් රිංගයිද?

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර පවත්නා C.1.2 නව කොවිඩ් ප්‍රභේදය, පෙර තිබුණු විකෘති කිහිපයක් එකතු වී නිර්මාණය වූ ප්‍රබල වයිරස් ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇතැයි ඔෟෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙතෙක් නමක් ලබාදී නොමැති එම වයිරස් ප්‍රභේදය මේ වනවිට, චීනය නවසීලන්තය, ස්විට්සර්ලන්තය, බි්‍රතාන්‍ය, පෘතුගාලය, කොංගෝව, මුරිසි දූපත් ඇතුළු තවත් රටවල් කිහිපයක පැතිරෙමින් පවතින බව වාර්තා වී ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

සිරුරේ පවතින ප්‍රතිශක්තිය බිඳහෙළීමට තරම් හැකියාවක් මෙම වයිරස ප්‍රභේදය තුළ පවතින බවට විද්‍යාඥයන් මත පළ කර ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරයි.

කෙසේ වුවද, එම වයිරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර දැනටමත් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ එම කණ්ඩායම සමඟ පැමිණ සිටින සියලුදෙනාගේ PCR පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වෙත යොමුකර වාර්තා ලබාගත් බවත්, ඔවුන් සියලු දෙනාම සුරක්ෂිත බව තහවුරු කර ඇති බවත් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

දැනට ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින නමුත්, එයින් එන්නත්කරණයට බාධාවක් නොමැති බව පෙන්වා දෙන මහාචාර්ය චන්න ජයසුමන, රජය සැලසුම් කළ ආකාරයට එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දීපව්‍යාප්තව සිදුකෙරෙන බවද සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් පවතින C.1.2 වයිරස් ප්‍රභේදය, මෙතෙක් හඳුනාගත් කොවිඩ් ප්‍රභේද අතරින් වැඩිම විකෘතිතා දක්වන ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරති.