“ඩෙල්ටා” වයිරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බැවින්, ඉදිරි සති දෙක අතර ලංකාව තුළ “ඩෙල්ටා” ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යෑමට ඉඩ ඇති බවට ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.
“ඩෙල්ටා” ප්‍රභේදය ආසාදිත රෝගීන් එළැඹෙන සතියේ තවත් වාර්තා විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කරයි.
බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එසේ සඳහන් කළ මහාචාර්ය මලික් පීරිස් “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් මෙරටින් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට අනාවැකියක් පළ කළේය.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත තවමත් ලැබී ඇත්තේ 20%කට ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්ය මලික් පීරිස් එවැනි පසුබිමක “ඩෙල්ටා” ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද සඳහන් කළේය.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව පළමුවෙන්ම කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්මවු සියලු දෙනාටම එන්නත ලබාදීම යැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
කොවිඩ් ආසාදිත වී මිය යන අය අතුරින් 75%ක් පමණ වයස අවුරුදු 60 ඉක්මවූ අය බවත් දැඩි සත්කාර ඒකක කරා වැඩි වශයෙන් පැමිණෙන්නේ එම වයස් කාණ්ඩවල පුද්ගලයන් බැවින් වඩා වැදගත් වන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ අය වෙත එන්නත් ලබාදීම යැයි සඳහන් කළ මහාචාර්ය මලික් පීරිස් වයස අවුරුදු 60 ඉක්මවූ අයට එන්නත් ලබාදීම සාර්ථකව අවසන් කළ පසු ඊට වඩා වයස අඩු කාණ්ඩ සඳහා එන්නත ලබාදිය හැකි බව පෙන්වා දුන්නේය.
කලින් පැවැති සංචරණ සීමා ඉවත් කර ඇති බව අප මතක තබා ගත යුතුව ඇතැයිද එම සීමා ඉවත් කළාට හොඳ තත්ත්වයක් නොපවතින බැවින් ඉදිරි සති කිහිපයේ යළි අවදානමක් ඇති විය හැකි නිසා අපි හොඳ අවදානයෙන් පසුවිය යුතුව ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා එක්සත් රාජධානියෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 90%ක්ම “ඩෙල්ටා” ප්‍රභේදයේ ආසාදිතයන් බව පෙන්වා දුන්නේය.
“ඩෙල්ටා ප්ලස්” කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වීමක් යැයිද එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තවත් දරුණු වේ යැයි කියා සිතිය හැකි නමුත් එමඟින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවෙයිද යන කරුණු මේ මොහොතේ කිව නොහැකියැයි සඳහන් කළ මහාචාර්ය මලික් පීරිස්, “ඩෙල්ටා” ප්‍රභේදය හමුවන හැම තැනකම “ඩෙල්ටා ප්ලස්” හමුවෙයි කියා සිතිය යුතු නැතැයිද එහෙත් අපි ඒ පිළිබඳව සෝදිසියෙන් සිටිය යුතු ඇතැයිද පෙන්වා දුන්නේය.
Published in Health