මිය ගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (ජූනි 18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇති බවය.
ජූනි මස 14 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද ජූනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජූනි 21 වන දා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා පවසයි.
පසුව, මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ශනයක් කර දත්ත ලබා ගත්තේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
එහිදී ඇතැම් මරණ පෙබරවාරි 6 සිට ජූනි 11 වන දා දක්වා මාස 4ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කර තිබූ බවට ද අනාවරණය වී ඇත.
ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වී ඇති බව සොයා ගත් බවත් ජූනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව, 15ක් පමණක් බවත් සිදුකළ පුළුල් විමර්ශනයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
“14 වන දා අරින්න හිටියා. එතකොට එකපාරට ම 11 වන දා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝ ම බයවෙනවා නේ. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා.
ජූනි 11 වන දා මැරුණා නම්, 10 වන දා රාත්‍රී 12 ඉදලා 11 වන දා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ.
එදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6 වන දා. ආදාහනය කරලා තියෙනවා පෙබරවාරී මාසේ 6 වන දා ම. එයාට මරණ සහතිකයකුත් දීලා තියෙනවා.
ඊළඟ එක්කෙනා අවුරුදු 67යි. මෙයා හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වන දා. මේ 101ක ඉන්න පුද්ගලයෙක්.
9 වන පුද්ගලයාත් 10 වන පුද්ගලයාත් එක්කෙනා. ඒකත් මේ 101ට අයිතියි.
මම මේක බැලුවට ටීවි එකට ඇනලයිස් කරන එක්ස්පර්ට් ලා මේක දන්නේ නෑ නේ. මම කිව්වා මේක පහුගිය හරි තැන්වලට දාන්න. අඩු කරන්න නෙමෙයි. එතකොට හරි විදියකට අපිට දත්ත එනවා.”
mawbima.lk
Published in Political