Press "Enter" to skip to content

පාදුක්කේ කොවිඩ් ව්‍යාප්තියෙන් පවුල් පිටින් ආසාදිතයි

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පසුගිය 03දා පාදුක්ක සතිපොළ භූමියේදී පුද්ගලයන් 220 දෙනකුට සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ලද වාර්තා අනුව පුද්ගලයන් 175 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබූ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගයාන් මඩමවත්ත මහතා 6 දින පැවැසීය.

පිටුම්පේ, පාදුක්ක, බෝපේ, මාදුලාව, තුම්මෝදර, ගලගෙදර යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසවලින් මෙම ආසාදිතයන් වාර්තාවී ඇත.

මෙලෙස දිගින් දිගටම ආසාදිත පුද්ගලයන් ප්‍රදේශයෙන් වාර්තාවීම සම්බන්ධයෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගයාන් මඩමවත්ත මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

මීට ඉහතදී පැතිරී ගිය වයිරස් ප්‍රභේදයට වඩා මෙම වයිරස් ප්‍රභේදය බොහෝ වෙනස්වී තිබෙනවා.

පළමු වයිරසය නිවසක එක් පුද්ගලයකුට වැලඳුණහොත් පවුලේ අනෙක් අයට පැතිරීම අඩුයි.

එහෙත් මෙම නව වයිරස් ප්‍රභේදය පවුලේ එක් අයකුට වැලඳුණහොත් පවුලේ අනෙකුත් සියලු දෙනාටම පැතිරීමේ ප්‍රවණතාවය වැඩියි.

ඒ අනුව එක් ආසාදිතයකු හමුවූ පවුලක අනෙක් පිරිස පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඔවුන්ද ආසාදිතයන් ලෙස වාර්තා වෙනවා.

ඒ අනුව තමයි මෙලෙස ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙන්නේ.

වෙමැනි තත්ත්වයක් මත ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන් නිවැරැදිව අනුගමනය කරන්නේ නම් වයිරසය පුද්ගලයකුට ආසාදනයවීම වළක්වා ගත හැකි බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවැසීය.