පළමු කොවිඩ්-19 රැල්ලට සාර්ථකව මුහුණ දුන් වියට්නාමයෙන් නව කොරෝනාවෛරස ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.
වියට්නාම බලධාරීන් පවසන්නේ, එය ඉන්දියානු සහ එක්සත් රාජධානියේ කොරෝනාවෛරස ප්‍රභේදවල එකතුවක් වන බවත් එය ඉක්මනින් වාතය මගින් ව්‍යාප්ත වන බවත් ය.
ඉකුත් වසරේ දී වියට්නාමය සාර්ථක ලෙස වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ ද අප්‍රේල් මස අග සිට එරට කොරෝනාවෛරස ආසදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවත් එය ලියාපදිංචි වී ඇති මුළු රෝගීන් 6,713 සංඛ්‍යාවෙන් අඩකටත් වඩා වැඩි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් මරණ ගණන 47කි.
“ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත්, දැනට පවතින කොරෝනාවෛරස ප්‍රභේද දෙකෙහි ලක්ෂණ ඒකාබද්ධ කරන නව කොරෝනාවෛරස ප්‍රභේදයක් වියට්නාමය විසින් සොයාගෙන තිබෙනවා,” යැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ගුයීන් තන් ලෝන්ග් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
“නව ප්‍රභේදය ඉතා භයානක යි,” ඔහු තවදුරටත් පැවසීය.
B.1.222, B.1.619, D614G, B.1.1.7 (UK variant), B.1.351, A.23.1 සහ B.1.617.2 (Indian variant) යන කොරෝනාවෛරස ප්‍රභේද හත අග්නිදිග ආසියානු රටක් වන වියට්නාමයෙන් මීට පෙර හඳුනාගෙන තිබිණි.
එරට ඔන්ලයින් පුවත්පතක් වන VnExpress පැවසුවේ, වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා වන ලෝන්ග් විසින් මෙම නව ප්‍රභේදය, ඉන්දියානු සහ එක්සත් රාජධානි ප්‍රභේදයේ දෙමුහුන් ප්‍රභේදයක් ලෙස විස්තර කර ඇති බව ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අලුතින් සොයාගත් මෙම ප්‍රභේදයේ නම සහ සවිස්තරාත්මක ලක්ෂණ ඉක්මනින් එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය අවධානයට ලක් විය යුතු SARS-CoV-2හි ප්‍රභේද හතරක් හඳුනාගෙන ඇති අතර ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ, දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේ ප්‍රථම වරට මතුවූ ප්‍රභේද ඊට ඇතුළත් වේ.
කෙසේ වෙතත්, වියට්නාමයෙන් හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් මේ දක්වා අදහස් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.






