Press "Enter" to skip to content

කොවිඩ්-19 රෝගියෙකු සුවය ලබා නිවසට ගිය පසු කළ යුතු සහ නොකළ යුතු දේ

කොරෝනාවෛරසය ආසාදනය වී නිරෝධායනය අවසන් වූ පසු සුවය ලබා යළි නිවෙස් වෙත යන පුද්ගලයින් අනුගමනය කළ යුතු කරුණු සහ සුවවීමෙන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (මැයි 28) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සහ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිලි කිරීමක් කළහ.

සුවවීමෙන් පසු යළි සුපුරුදු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතාගේ උපදෙස් මෙසේ ය.

සුව වීමෙන් පසු දෛනික කටයුතු කළ යුත්තේ කෙසේ ද?

සුවය ලබා නිවෙස්⁣ වෙත යන කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් සිය නිවසේ දෛනික කටයුතු සඳහා තමන්ට හැකි අයුරින් සහය වුවත් වැඩි වශයෙන් මහන්සිය ඇති කරවන කාර්යවල නොයෙදිය යුතුය.

නිරෝධායන කාල සීමාව අවසන් කළ, රැකියාවල නිරත වන පුද්ගලයන් යම් පමණකින් සේවයෙහි නිතර විය යුතු නමුත් අධික ලෙස මහන්සි වෙමින් කාර්යයන් කිරීම නොකළ යුතු ය.

නිරෝධායනය අවසන් වූ පසුත් කැස්ස පැවතුණොත්?

රෝගය සුව වූ පසුත් එම රෝගයේ යම් යම් කුඩා රෝග ලක්ෂණ පැවතිය හැකි බවත් සුව වීමෙන් පසු සෑදෙන සියල්ල කොවිඩ් හේතුවෙන් ඇති වූවායැයි නොසිතා අදාළ රෝග ලක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

“කොවිඩ් රෝගය තිබෙන කාලයේදී ඔබට කැස්සක් තිබුණා නං මේ කැස්ස මද පමණින් ඔබට තියෙන්න පුළුවන්. ගෙදර ගියාට පස්සෙ මාසයක් විතර යංතං කැස්ස තිබීම සාමාන්‍ය දෙයක්. මේක අපි කොවිඩ් රෝගයේ දකිනවා. කැස්ස තිබිලා ඒ කියන්නේ ප්‍රධාන රෝගය සනීප වුණාට පස්සෙත් පොඩ්ඩක් කැස්ස තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ශ්වාසනාලිකාවල තියෙන ටිකක් වැඩිපුර ඒවාවල පොඩි පොඩි වෙනස්කම් නිසා එන කැස්ස. එයට ප්‍රතිකාර ගන්න පුළුවන්.”

එවන් අවස්ථාවක කළ යුත්තේ කුමක් ද?

“බොහෝ වෙලාවට අපි ඒකට නියම කරන්නේ ඉන්හේලර් එකක්. මේ කැස්ස නැවත වැඩි වුණොත් එහෙම නැත්තං හුස්ම ගැනීමේ අපහසුව වැඩි වුණොත් ඒක කොවිඩ් මත බැර නොකර ඒකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.”

කොවිඩ් සුව වූවායින් රෝග ඇති වන්නේ කොවිඩ් නිසා ම ද?

කොවිඩ් ⁣රෝගය සුව වීමෙන් පසු වැළඳෙන සියලු රෝග කොවිඩ් නිසා ම වැළඳෙනවා යැයි නොසිතා තමන්ට පවතින අනෙකුත් රෝගයන්ට පෙර පරිදි ප්‍රතිකාර ලබාගත යුතු බව ඒ මහතා පැවසීය.

“කොවිඩ් රෝගයයට බේත් කරද්දි දියවැඩියාව සීනි මට්ටම වැඩි වෙනවා. ප්‍රතිකාර ලබා නිවසට ගියා ම සීනි මට්ටම යථා තත්ත්වයට පත්විය යුතුයි. සීනි මට්ටම ගැන අවබෝධයෙන් ඉඳීම, වෙනත් අසනීප වලට ප්‍රතිකාර ගන්නවා නං ඒ ප්‍රතිකාර දිගින් දිගට ම කිරීම වැදගත් වෙනවා. ඒවා ගැන නැවත වෛද්‍ය උපදේශ ලබාගැනීමත් වැදගත්.”

කොවිඩ් සුවවීමෙන් පසු කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු ද?

“ඒකට මට දෙන්න තියන උත්තරේ තමයි එහෙම ජාතියක් නෑ. ඔබට යම් කිසි දෙයක් කන්ඩ පුළුවන් කියලා හිතෙනවා නං ඔබේ තියන වෙනත් රෝගවලට එයින් බලපෑමක් නැත්තං උදාහරණයක් හැටියට දියවැඩියාවට බලපෑමක් නැත්තං ඔබට ඕනෑ ම ආහාරයක් ගත හැකියි. එහෙම නැතිව මේ අහවල් කෑම ගන්න කියලා අපි නියමයක් කරන්නේ නැහැ. තැඹිලි, දොඩම් බිව්වට කමක් නැහැ. ඒකෙන් විශේෂ නරකක් හෝ හොඳක් වෙන්නේ නෑ. සෙම වැඩි වෙනවා කියන සංකල්පය අපි පිළිගන්නේ නැහැ.”

නෑම සුදුසු ද?

“තමන්ට නාන්න පුළුවන් කියලා හිතෙනවා නං නාන්න. ඒක නෑම හොඳ හෝ නරක කියලා දෙයක් නෑ. අපි නං සාමාන්‍යයෙන් සනීපයකට පස්සේ නානවා. මේක විශේෂයෙන් නොනා යුතු තත්ත්වයක් කියලා අපි සලකන්නේ් නැහැ. ඔබට හිතෙනවා නං නාන්න ඕන කියලා අද, නාන්න.”

ලබාගත් එන්නතෙන් කොතරම් කාලයකට ආරක්ෂාවක් හිමි වෙයි ද?

මේ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ,

“මේ සම්බන්ධයෙන් මේ ලෙඩෙත් අලුත් බෙහෙතුත්, අලුත් එන්නතත් අලුත්. මේ පිළිබඳව අපිට දැන්ම එහෙම තීරණ වලට එන්න අමාරුයි. අපි මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. ලෝකය පුරාම මේ එන්නත ලබාදීම සම්න්ධයෙන් කරන තොරතුරු එක්රැස් වෙනවා. ඒ එක්රැස් වීම මත තමා විටින් විට තීරණය කරන්නේ. මේ එන්නත් දෙන්න පටං ගත්ත කාලයේ නෙවේ මේ වෙද්දි තොරතුරු වෙනස් වෙලා තියෙනවා. දිය යුතු කාටද? නොදිය යුතු අය කවුද? කොච්චර කාලෙකට සැරයක් ද? පළවෙනි මාත්‍රාවයි දෙවැනි මාත්‍රාවයි අතර වෙනස කොච්චර ද? මේවා විටින් විට වෙනස් වෙනවා. මොක ද මේක අලුතින් ම කරන එක්තරා විදියක අත්හදා බැලීමක් මේ කරං යන්නේ. ඒ නිසා අපිට දැන් ම ඒ ගැන තීරණයක් ගන්න කල් වැඩි. ඉදිරියේ දී ඒ තොරතුරු මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබාදේවි.”

මීට පෙර කොවිඩ් නොවැළඳුණු යමෙකුට මේ දිනවල කැස්ස වැනි ලක්ෂණ නිතර පවතිනවා නං රෝහල්ගත විය යුත්තේ කොයි අවස්ථාවේදී ද? මුලින් ම කිව යුත්තේ කාට ද?

“කැස්ස ආදී රෝග ලක්ෂණ තියෙනවා නං PHI ට කියන්න. මහන්සි නොවී ඉද්දි හුස්ම ගැනීමට අපහසු නම් ඉතා කුඩා කටයුත්තක් කළවිටත් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් හිරවීමක් ඇත්නම් සුවසැරියට කියන්න.”

මෙරට තුළ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් 174,861 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් කොවිඩ් මරණ 1298 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 143,789 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම පසුගිය පැය 24 තුළ PCR පරීක්ෂණ 18,156 ක් සිදු කොට ඇත.

මේ අතර ඊයේ රාත්‍රිය වන විට භාවිතය සඳහා මෙරට ඉතිරි වී ඇති දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව 65 ක් පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.