Press "Enter" to skip to content

දියණියට උදෑසන ආහාරය සකසන්න අවදි වූ 45 හැවිරිදි මව නිවස පිටුපසදී කපා කොටා ඝාතනය කෙරේ – පලා ගිය සැකකරු වන අලියෙකුගේ ගැටී රෝහලට!

සිය දියණියට පාසල් යාම සඳහා උදෑසන ආහාරය සකස් කිරීමේ අරමුණින් ඊයේ (27) අලුයම නිවසේ මුළුතැන්ගෙයින් පිටතට පැමිණි 45 හැවිරිදි මවක, නිවස පිටුපස සැඟව සිටි පුද්ගලයෙකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එප්පාවල පොලිස් වසමේ ගල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වන මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ ගයනි ඉරෝමා දිසානායක නමැති කාන්තාවක වන අතර, අලුයම් කාලයේ නිවස පිටුපස රැඳී සිටි සැකකරු මන්නා පිහියකින් ඇයගේ හිසට සහ ගෙල ප්‍රදේශයට පහර දී මෙම බිහිසුණු අපරාධය සිදු කර ඇති බව එප්පාවල පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව වස පානය කර යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට පලා යමින් සිටියදී, මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ල අසලදී සැකකරු ගමන් ගත් යතුරුපැදිය වන අලියෙකුගේ ගැටී අනතුරට ලක්ව ඇත. අනතුරින් තුවාල ලැබූ සහ වස පානය කර සිටි සැකකරු මුලින්ම එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඔහු මහඉලුප්පල්ලම කලාකරඹෑව ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගැනීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් විසින් ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන මන්නා පිහිය මියගිය කාන්තාවගේ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඇළකට දමා තිබියදී සොයා ගැනීමට සමත්ව ඇත.

මුදල් ආරවුලක් හෝ අනියම් සම්බන්ධයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලීසිය මූලික වශයෙන් සැක පළ කරන අතර, අපරාධයේ සැබෑ පසුබිම සහ ඊට අදාළ සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

More from GossipMore posts in Gossip »