Press "Enter" to skip to content

සීයාට පින් පතා අරමුදල් රැස් කිරීමට මැරතන් තරගයට ගිය ක්‍රීඩිකාව අවසන් රේඛාව පෙනි පෙනී ඇද වැටී මියයයි

මියගිය සීයා වෙනුවෙන් පින් පැමිණවීම උදෙසා අරමුදල් රැස් කිරීමේ අදහසින් නිව්යෝර්ක් මැරතන් තරගයට එක්වූ 24 හැවිරිදි නිෂ්පාදන කළමනාකාරිනියක වූ රේචල් අපා තරගයේ අවසන් රේඛාවට ආසන්න වෙමින් සිටියදී හදිසියේම ඇද වැටී මියගිය පුවත ලොව පුරා ශෝකජනක පුවතක් විය.

පෙන්සිල්වේනියාවේ බක්නෙල් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර උපාධියක් ලබාගත් රේචල් ඇගේ සීයා ‘තම ජීවිතයේ ආදර්ශවත් චරිතය’ ලෙස නිතර හැඳින්වූ අතර, තමන්ට ක්‍රියාශීලීව සිටීමට සහ අභියෝග වැලඳ ගැනීමට සීයා පාඩම් කියාදුන් බව සඳහන් කළාය. එබැවින් සීයාට පින් පැණවීමට අවශ්‍ය බව මැරතන් තරගයට පෙර ලියූ සටහනක සඳහන්ව තිබී ඇත.

බක්නෙල් විශ්වවිද්‍යාලයේ හිටපු දීප්තිමත් හොකී ක්‍රීඩිකාවක වූ ඇය සම්පූර්ණයෙන්ම නීරෝගිව හා අපූරු ශරීරයක් තිබූ තරුණියක් වූ අතර, ඇගේ හදිසි මරණය පවුලට සහ ක්‍රීඩා ලෝකයට ශෝකය ගෙන දෙන්නක් බවට පත්ව තිබේ. පසුගිය ඉරිදා, මැන්හැටන් උද්‍යානය අසලින් තරගය අවසන් වීමට නියමිතව තිබියදී තරගයේ දිව යමින් සිටි රේචල් හදිසියේම සිහිසුන් වී බිම ඇදවැටුණාය.

තරගය නරඹමින් සිටි මිචෙලා නිකලස් නම් රෝහල් සමාජ සේවිකාව ඇගේ ආධාරයට දිව ආවාය. “රේචල්ගේ නාඩි දැනෙන්නේ නෑ” මිචෙලා පවසද්දී මාර්ගය අසල තරගය නරඹමින් සිටි වෛද්‍යවරු දෙදෙනෙක් දිව ගොස් ගිලන් රථය පැමිණෙන තුරු රේචල්ට ප්‍රතිකාරදීම ආරම්භ කළහ.

ටික වේලාවකදී, මැරතන් තරගයට එක්ව සිටි වෛද්‍ය කණ්ඩායම ගිලන් රථයෙන් පැමිණ රේචල්ව, මවුන්ට් සීනායි වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය අතර, පැය හයක සටනකින් පසු මියගිය බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

රේචල්ගේ පියා වන ස්ටීව් අපා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ රේචල්ගේ මරණයට හේතුව රබ්ඩොමියොලිසිස් නම් රෝගයක් බවත්, එය අධික ලෙස වැඩ කිරීමෙන් මාංස පේශි වේගයෙන් බිඳ වැටී හානිකර ද්‍රව්‍ය රුධිරයට මුදාහරින දුර්ලභ හා බරපතළ තත්ත්වයක් බවය.
“ඒක විශ්වාස කරන්න බැරි තරම්” ස්ටීව් අප්පා කඳුළු සලමින් කීවේය. “වයස අවුරුදු 24 යි. දුව හොඳ සෞඛ්‍යසම්පන්නව පරිපූර්ණ යෝග්‍යතාවකින් සිටියා. 2022දී පාකින්සන් රෝගයෙන් මියගිය සීයාට පින් දෙන්න මුදල් රැස් කරන්න ඕනෑ කියලා මැරතන් තරගයට ගියා” ස්ටීව් අපා පැවසීය.

මරණයට පෙර, තරගයේ 24 වැනි සැතපුමට ළඟා වූ පසු ඇය පියාට ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයක් යැව්වාය. එහි මෙසේ ලියා තිබුණි. ‘තව ටිකයි අවසාන දුරට’ නමුත් රේචල් කිසි විටෙකත් එම අවසන් රේඛාවට ළඟා වූයේ නැත.

More from GossipMore posts in Gossip »